එගොඩඋයනේ මාරක රිය අනතුර: පාපැදි පුහුණුවීම් අතරතුර ප්‍රවීණ ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට

මොරටුව, එගොඩඋයන නව ගාලු පාරේදී සෙනසුරාදා (නොවැම්බර් 14) සිදුවූ ලොරි රථ අනතුරකින් 68 හැවිරිදි ප්‍රවීණ පාපැදි ධාවකයෙකු සහ ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව, ලක්ෂපතිය, ද මෙල් පාරේ පදිංචි ජෑන් බර්නාඩ් අයිවෝ රණසූරිය (Jan Bernard Ivo Ranasooriya) මහතාය. ඔහු ප්‍රකට ප්‍රවීණ පාපැදි ධාවකයෙකු මෙන්ම ක්‍රීඩා භාණ්ඩ ව්‍යාපාරිකයෙකු ද වන අතර, ‘මොරටුව ක්‍රිකට් ෂොප්’ (Moratuwa Cricket Shop) ආයතනයේ හිමිකරු බව ද වාර්තා වේ.
රණසූරිය මහතා උදෑසන පුහුණු සැසියක් අතරතුර තවත් පාපැදි ධාවකයන් පිරිසක් සමඟ මොරටුවේ සිට පානදුර දෙසට පාපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. පිටුපසින් පැමිණි භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් ඔහුගේ ධාවන පාපැදියේ ගැටී ඇති අතර, එහිදී ඔහු ලොරි රථයට යටවී එම ස්ථානයේදීම මියගොස් ඇති බව වාර්තා වේ.
අනතුරින් පසු ලොරි රථය තුළ සිරවී සිටි රියදුරු ප්‍රදේශවාසීන් විසින් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව බේරාගෙන ඇත. බරපතළ තුවාල ලැබූ රියදුරු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් එගොඩඋයන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




