1996 අංක 28 දරන ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත වෙනුවට නව පනත් කෙටුම්පතක් සකස් කිරීම සම්බන්ධයෙන් ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ පාර්ලිමේන්තු සංසදය සාකච්ඡාවක් පවත්වා තිබේ.
සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති මෙම සාකච්ඡාවේදී වසර 30ක් පුරා 1996 පනත වෙනුවට නව නීතිමය රාමුවක් හඳුන්වාදීම පිළිබඳව සාකච්ඡා කර ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව 2016 වසරේදී ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට (UN CRPD) අත්සන් කර තිබුණද, මෙරට නීති එම සම්මුතියට අනුකූල වන පරිදි මෙතෙක් සම්පූර්ණයෙන් සකස් වී නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.
2016 වසරේ සිට කැබිනට් තීරණ කිහිපයක් ගෙන තිබුණද, එම තීරණවල මුල් අරමුණු සහ මේ වන විට සකස් කර ඇති පනත් කෙටුම්පත්වල අන්තර්ගතය අතර යම් වෙනස්කම් මතුව ඇති බවත්, ඒවා පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර විසඳාගත යුතු බවත් සභාපතිවරයා සඳහන් කළේය.
අමාත්‍යාංශ නිලධාරීන් පැවසුවේ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ජාතික සභාවේ අනුකමිටුවක අදහස් සහ යෝජනා ඇතුළත් ආදර්ශ පනත් කෙටුම්පතක් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබූ බවයි.
එම දෙපාර්තමේන්තුව විසින් එය සංශෝධනය කර නැවත අමාත්‍යාංශය වෙත ලබාදී ඇති අතර, මේ වන විට ජාතික සභාවේ අදහස් ලබාගැනීම සිදුකරමින් පවතින බවද නිලධාරීහු පැවසූහ.
නීති සම්පාදන ක්‍රියාවලිය කඩිනම් කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුව මීට පෙර ලබාදී ඇති අදහස්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ සහ UN CRPD සම්මුතියට අනුකූල වන ස්වාධීන අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබේ.
ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ජාතික සභාවේ නියෝජිතයන් අවධාරණය කර ඇත්තේ “අප ගැන තීරණ ගැනීමේදී අපව අමතක නොකරන්න” යන මූලධර්මය අනුව ප්‍රතිපත්ති සකස් කළ යුතු බවයි.
ඒ අනුව ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රජාවට සෘජුවම ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට සහභාගී වීමට අවස්ථාව ලබාදිය යුතු බවද ඔවුහු පෙන්වා දුන්හ.
සාකච්ඡාවේදී සමාන සේවා කොන්දේසි සහ වැටුප් සහතික කිරීම, සුදුසු රැකියා අවස්ථා ලබාදීම, සේවා ස්ථානවල අවශ්‍ය සාධාරණ පහසුකම් සැලසීම සහ රාජ්‍ය අංශයේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වෙන් කර ඇති රැකියා අවස්ථා සම්බන්ධ නීති තවදුරටත් ශක්තිමත් කිරීම වැනි කරුණු පිළිබඳවද අවධානය යොමු විය.
මෙම සාකච්ඡාවට සහභාගී වූ ආයතන නියෝජිතයන් අවධාරණය කළේ වර්තමාන සමාජ හා ආර්ථික තත්ත්වයන්ට මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ටද ගැළපෙන නීතිමය රාමුවක් ස්ථාපිත කිරීම සඳහා පුළුල් එකඟතාවක් කඩිනමින් ඇති කරගත යුතු බවයි.
පාර්ලිමේන්තු සංසදයේ සම නියෝජ්‍ය සභාපති ආචාර්ය පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය නිහාල් අබේසිංහ මහතා, නීතිඥ සුසන්ත දොඩාවත්ත මහතා සහ පද්මසිරි බණ්ඩාර මහතා ඇතුළු මන්ත්‍රීවරුන් මෙන්ම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ජාතික සභාවේ කෙටුම්පත් සකස් කිරීමේ අනුකමිටුවේ නිලධාරීහුද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


