රේඩියෝ නවසීලන්තය (RNZ) වාර්තා කරන පරිදි, මෙම කාන්තාව 2023 නොවැම්බර් 8 වැනිදා කුක් දූපත්වලට පැමිණ තිබේ. නවසීලන්තය හෝ ඔස්ට්රේලියාව හරහා ගමන් කිරීමට අවසර ලබාගැනීම සඳහා කිහිප වරක් උත්සාහ කළද, ඇයට මෙතෙක් එම අවසරය හිමිවී නොමැත.
RNZ පැසිෆික් සේවයේ මාධ්යවේදී ජොනී බ්ලේඩ්ස් ඔක්තෝබර් 14 වැනිදා විකාශය වූ වැඩසටහනකදී මෙම කාන්තාව ශ්රී ලංකාවෙන් පැමිණි අයෙකු බවට වාර්තා වන බව සඳහන් කර තිබේ.
වාර්තා වන පරිදි, සිය සැමියා ඝාතනයට ලක්වූ බව කියන සිදුවීමකින් පසු ඇය 2023 වසරේ මුල් භාගයේදී ශ්රී ලංකාවෙන් පිටව ගොස් තිබේ. අනතුරුව නවසීලන්තයට ගිය ඇය එහිදී සරණාගතභාවය ඉල්ලා ඇත.
නීතිඥවරයෙකුගේ උපදෙස් මත තාවකාලිකව නවසීලන්තයෙන් පිටව ගොස් නැවත පැමිණීමට තීරණය කළ බව ඇය පවසයි. ඒ අනුව කුක් දූපත්වලට ගියද, පසුව නවසීලන්තය හරහා නැවත ගමන් කිරීමට අවසර ලබාගැනීමට නොහැකි වූ බව ඇය සඳහන් කර තිබේ.
මේ වන විට කුක් දූපත්වල රැඳී සිටීමට අවශ්ය වලංගු වීසා බලපත්රයක්ද ඇය සතුව නොමැත.
නවසීලන්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත්තේ, මෙම කාන්තාවගෙන් සංක්රමණ වීසා අයදුම්පත් කිහිපයක් ලැබුණු නමුත්, ඇය සැබෑ ලෙසම නවසීලන්තය හරහා වෙනත් රටකට ගමන් කිරීමට අදහස් කරන බවට බලධාරීන් සෑහීමකට පත් නොවීම හේතුවෙන් ඒවා ප්රතික්ෂේප කළ බවයි.
RNZ වාර්තාවට අනුව, කුක් දූපත් රජය ඇයව ඕක්ලන්ඩ් ගුවන්තොටුපොළ හරහා සිංගප්පූරුව බලා යන සම්බන්ධිත ගුවන් යානයකට රැගෙන යාම සඳහා නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ගමන් සැලැස්මක් ඉදිරිපත් කර තිබේ. එහෙත් එම සැලැස්ම ක්රියාත්මක කිරීමෙන්ද ඇයට රටින් පිටවීමට හැකි වී නොමැත.
ඔස්ට්රේලියාවද ඇයගේ සංක්රමණ වීසා අයදුම්පත් ප්රතික්ෂේප කර ඇති බව වාර්තා වන අතර, ටහිටි හරහා ගමන් කිරීම සඳහා කළ උත්සාහයන්ද සාර්ථක වී නොමැත.
තමන් මුහුණ දෙන තත්ත්වය මානසික වශයෙන් බියකරු අත්දැකීමක් බව පවසා ඇති ඇය, තම එකම අරමුණ සිය පවුල වෙත ආපසු ශ්රී ලංකාවට පැමිණීම බව අවධාරණය කර තිබේ.
අවශ්ය නම් තමන්ව රඳවාගෙන ආරක්ෂක නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ගුවන්තොටුපොළ හරහා රැගෙන යාමට වුවද තමන් සූදානම් බව ඇය පවසා ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් සිය පුත්රයාගේ විවාහ මංගල්යයට සහභාගි වීමේ අවස්ථාවද ඇයට අහිමි වී තිබේ.
මෙම කාන්තාව වෙනුවෙන් පෙනී නොසිටින නවසීලන්ත ආගමන විගමන නීතිඥ රිචඩ් ස්මෝල් RNZ වෙත පවසා ඇත්තේ, ඇය මීට පෙර නවසීලන්තයේදී සරණාගතභාවය ඉල්ලා තිබීම නැවත සංක්රමණ අවසර ලබාගැනීමේ උත්සාහයන් සංකීර්ණ කර තිබිය හැකි බවයි.
ඇය නවසීලන්තයට පැමිණීමෙන් පසු එහි රැඳී සිටීමට උත්සාහ කළ හැකි බවට පවතින සැකයන් හේතුවෙන් බලධාරීන් සංක්රමණ අවසර ලබාදීමට මැළිකමක් දක්වනවා විය හැකි බවද ඔහු පෙන්වා දී තිබේ.
ගුවන්තොටුපොළකදී ගුවන් යානා මාරු කිරීම සඳහා පමණක් වුවද අවශ්ය අවසරය ලබාදීම සංක්රමණ රටවල් ප්රතික්ෂේප කරන අවස්ථාවක, විදේශිකයෙකුට තම මව් රටට ආපසු යා හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙම සිද්ධිය ප්රශ්න මතු කර තිබේ.
කුක් දූපත්වලට පැමිණ වසර තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත්, ශ්රී ලංකාවට ආපසු පැමිණීමට හැකි විසඳුමක් ලැබෙන තෙක් මෙම කාන්තාව තවදුරටත් අන්යයන්ගේ සහාය මත එහි රැඳී සිටින බව RNZ වාර්තාවේ දැක්වේ.


