ශ්‍රී ලංකාවේ යෝජිත රාජ්‍ය නොවන සංවිධාන (ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය) පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධාන මගින් සංගම් පිහිටුවීමේ නිදහස සහ සිවිල් සමාජ අවකාශය සීමා විය හැකි බවට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් සිව්දෙනෙකු කනස්සල්ල පළ කර තිබේ.
මානව හිමිකම් සහ ත්රස්තවාදයට එරෙහිව කටයුතු කිරීමේදී මූලික නිදහස පිළිබඳ විශේෂ නියෝජිත බෙන් සෝල්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිත ලියෝපෝල්ඩෝ මල්ඩොනාඩෝ ගුටියරෙස්, සාමකාමී රැස්වීම් සහ සංගම් පිහිටුවීමේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිත ජිනා රොමේරෝ සහ මානව හිමිකම් ආරක්ෂකයන්ගේ තත්ත්වය පිළිබඳ විශේෂ නියෝජිත ඇන්ඩ්‍රියා බොලානෝස් වර්ගාස් විසින් මෙම සන්නිවේදනයට අත්සන් තබා ඇත.
2026 ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කළ පනත් කෙටුම්පතේ නවතම සංස්කරණය මගින් රාජ්‍ය නොවන සංවිධාන සහ අනෙකුත් සිවිල් සමාජ සංවිධාන සඳහා පුළුල් ලියාපදිංචි කිරීමේ, වාර්තාකරණයේ සහ අධීක්ෂණයේ අවශ්‍යතා පැනවිය හැකි බව විශේෂ නියෝජිතයෝ පෙන්වා දෙති.
යෝජිත නීතිය යටතේ රාජ්‍ය නොවන සංවිධාන නිසි බලධාරියෙකු වෙත ලියාපදිංචි විය යුතු අතර, එම ලියාපදිංචිය වසර තුනකට වලංගු වේ. ලියාපදිංචි නොවී කටයුතු කිරීම වරදක් බවට පත්විය හැකි අතර, ඒ සඳහා රු. මිලියනය දක්වා දඩයක් පැනවිය හැකිය.
එමෙන්ම, රාජ්‍ය නොවන සංවිධානවල වාර්තා පරීක්ෂා කිරීමට, එහි කාර්ය මණ්ඩලය සහ අරමුදල් පිළිබඳ තොරතුරු ලබාගැනීමට සහ පූර්ව දැනුම්දීමකින් එම සංවිධානවල පරිශ්‍ර පරීක්ෂා කිරීමට බලධාරීන්ට බලය ලබාදීමටද පනත් කෙටුම්පත මගින් යෝජනා කර තිබේ.
විශේෂ නියෝජිතයන් විශේෂයෙන් අවධානය යොමු කර ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන රජයේ ප්‍රතිපත්ති සමඟ අනුකූලව කටයුතු කළ යුතු බවට ඇති යෝජිත විධිවිධානය සහ ජාතික ආරක්ෂාව, ස්වෛරීභාවය හෝ භෞමික අඛණ්ඩතාවට තර්ජනයක් ලෙස සැලකෙන ක්‍රියාකාරකම් ඇතුළු හේතු මත සංවිධාන අත්හිටුවීමට හෝ ලියාපදිංචිය අවලංගු කිරීමට ලබාදෙන බලතල පිළිබඳවය.
දේශපාලනික කරුණු සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම, ජනතා අරමුදල් රැස් කිරීම සහ අරමුදල් වෙත ප්‍රවේශ වීම සම්බන්ධයෙන් යෝජනා කර ඇති සීමා කිරීම් පිළිබඳවද ඔවුහු ප්‍රශ්න කර තිබේ.
එම විධිවිධාන ඇතැම් අවස්ථාවල පුළුල් හෝ අපැහැදිලි ලෙස සකස් කර ඇති බැවින්, විරෝධතා සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම අධෛර්යමත් කරන බලපෑමක් ඇති කළ හැකි බව විශේෂ නියෝජිතයෝ පෙන්වා දෙති.
එමෙන්ම, ශ්‍රී ලංකාව විසින් 2026 ජනවාරි මාසයේ සිදු කළ අවදානම් තක්සේරුවකදී රාජ්‍ය නොවන සංවිධාන අංශයේ ත්‍රස්තවාදී මූල්‍යකරණයට ඇති ආවේණික අවදානම සංවිධානයේ ස්වභාවය අනුව අඩු මට්ටමේ සිට මධ්‍යම මට්ටම දක්වා බව වර්ගීකරණය කර තිබූ බවද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෝ සඳහන් කරති.
රාජ්‍ය නොවන සංවිධාන මගින් ත්‍රස්තවාදී මූල්‍යකරණය සිදුකිරීම සම්බන්ධ සාක්ෂි සීමිත බවද ඔවුහු පෙන්වා දී තිබේ.
ඒ අනුව, සියලුම රාජ්‍ය නොවන සංවිධානවලට එකසේ දැඩි නියාමන පැනවීම වෙනුවට, අවදානම මත පදනම් වූ සහ සමානුපාතික ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බවට ජාත්‍යන්තර ප්රමිතීන් අවධාරණය කරන බව විශේෂ නියෝජිතයෝ සඳහන් කරති.
මේ අතර, ශ්‍රී ලංකා රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය පසුගිය ජූලි මාසයේදී පනත් කෙටුම්පතේ සංශෝධිත පිටපත සිවිල් සමාජ සංවිධාන එකතුව වෙත ලබාදී සාකච්ඡාවක්ද පවත්වා තිබේ. එහිදී පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධාන සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට එම සංවිධානවලට අවස්ථාව ලබාදී ඇති අතර, ලිඛිත යෝජනා ඉදිරිපත් කරන ලෙසද දැනුම් දී තිබුණි. රජය පවසන්නේ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සහ මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදී මූල්‍යකරණය සහ ව්‍යාප්ති මූල්‍යකරණයේ අවදානම් අවම කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ බවයි.
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත්තේ මෙම පනත් කෙටුම්පත ජාත්‍යන්තර මානව හිමිකම් සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි ජාත්‍යන්තර ප්රමිතීන් සමඟ අනුකූල වන්නේ කෙසේද යන්න පැහැදිලි කරන ලෙසය.
එමෙන්ම, පනත් කෙටුම්පත සැලකිය යුතු ලෙස සංශෝධනය කිරීමට රජය අපේක්ෂා කරන්නේද යන්න සහ විනිවිදභාවයෙන් යුතුව, නියෝජිතත්වය සහ සියලු පාර්ශ්ව ඇතුළත් වන ආකාරයෙන් මහජන උපදේශනයක් සඳහා එය ප්‍රසිද්ධියට පත් කරන්නේද යන්න පිළිබඳවද පැහැදිලි කිරීමක් ඉල්ලා තිබේ.


