ශ්රී ලංකාවේ දළ ඇතුන් අතරින් කැපී පෙනුණු කවන්තිස්ස ඇතාගේ මරණය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද විශේෂඥ කමිටුවේ පළමු රැස්වීම ඊයේ (21) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති මාධ්ය අංශය (PMD) සඳහන් කළේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්ති මහතාගේ ප්රධානත්වයෙන් මෙම රැස්වීම පැවැති බවයි.
2026 ඔක්තෝබර් 16 වැනිදා පමණ ගල්ගමුව, සියඹලන්ගමුව ප්රදේශයේදී මියගිය කවන්තිස්ස ඇතාගේ මරණයට හේතු වූ තත්ත්වයන් විමර්ශනය කිරීම සඳහා මෙම කමිටුව පත් කර තිබේ.
වල් අලින්ගේ සුබසාධනය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු සම්මත මෙහෙයුම් ක්රියාපටිපාටියක් (SOP) සකස් කිරීම සහ ජාතික අලි සංරක්ෂණ වැඩසටහනක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමද කමිටුවට පැවරී ඇති වගකීම් අතර වේ.
කවන්තිස්ස ඇතාගේ මරණයට හේතුව, ඇතාට සිදුව තිබූ තුවාලවල ස්වභාවය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබේ.
අනාගතයේදී මෙවැනි සිදුවීම් ඇති වූ විට කඩිනම් පියවර ගැනීම සහතික කිරීම සඳහා විද්යාත්මක පදනමකින් යුත් ක්රියාපටිපාටි සකස් කිරීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමු වී ඇත.
වල් අලින්ට ක්ෂේත්රයේදීම කඩිනම් පශු වෛද්ය ප්රතිකාර ලබාදීම සඳහා කඩිනම් ප්රතිචාර පශු වෛද්ය ඒකකයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්ය අංශය සඳහන් කළේය.
යෝජිත අලි සංරක්ෂණ ක්රියාමාර්ග සකස් කිරීමේදී දේශීය මෙන්ම විදේශීය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමටද මෙහිදී තීරණය කර තිබේ.
විශේෂඥ කමිටුවේ සභාපති ඒ. එච්. සරත් විජේසිංහ, කමිටු සම්බන්ධීකාරක ඩබ්ලිව්. ඩබ්ලිව්. හැරිසන් යන මහත්වරුන් ඇතුළු විද්වතුන්, වනජීවී විශේෂඥයන් සහ නීති වෘත්තිකයන් පිරිසක් මෙම රැස්වීමට සහභාගි වූහ.


