2026/27 මෙහෙයුම් වර්ෂය සඳහා ‘සුරක්ෂා’ ශිෂ්ය රක්ෂණ යෝජනා ක්රමය ක්රියාත්මක කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ යටතේ දිවයින පුරා සිසුන්ට හිමිවන වෛද්ය සහ හදිසි අනතුරු රක්ෂණ ප්රතිලාභ රැසක් පුළුල් කිරීමට ද පියවර ගෙන ඇත.
අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශය හා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ආයතනය අතර ඇති කරගන්නා ගිවිසුම 2026 සැප්තැම්බර් 1 වැනිදා සිට 2027 අගෝස්තු 31 වැනිදා දක්වා ක්රියාත්මක වේ.
රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ රජයේ ආධාර ලබන විශේෂ අධ්යාපන පාසල්වල ඉගෙනුම ලබන සියලුම සිසුන් මෙම රක්ෂණ යෝජනා ක්රමයට ඇතුළත් වන බව කැබිනට් ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
නව සංශෝධන යටතේ හිමිවන ප්රධාන ප්රතිලාභ මෙසේය.
– ශ්රවණ උපකරණ අලුත්වැඩියාවට රුපියල් 75,000ක්: ශ්රවණ උපකරණ අලුත්වැඩියා කිරීම සහ ඊට අදාළ සේවා ගාස්තු සඳහා රුපියල් 75,000ක් දක්වා දීමනාවක් ලබාගත හැකිය.
– නිදන්ගත රෝග සඳහා ඖෂධවලට රුපියල් 20,000ක්: නිදන්ගත වකුගඩු රෝගය සහ නිදන්ගත ප්රදාහක ආතරයිටිස් රෝගය සඳහා දිගුකාලීනව ඖෂධ ලබාගන්නා සිසුන්ට රුපියල් 20,000ක් දක්වා දීමනාවක් හිමි වේ.
– විශේෂ රෝග පරීක්ෂණ සඳහා රුපියල් 20,000ක්: සමේ පිළිකා, අවයව බද්ධ කිරීමෙන් පසු ඇතිවිය හැකි ලිම්ෆොප්රොලිෆරේටිව් ආබාධය (PTLD), ඔස්ටියෝපොරෝසිස්, හෙපටයිටිස් B, හෙපටයිටිස් C සහ HIV ඇතුළු තත්ත්ව හඳුනාගැනීම සඳහා සිදුකරන විශේෂිත රෝග නිර්ණය පරීක්ෂණ වෙනුවෙන් රුපියල් 20,000ක් දක්වා ආවරණයක් ලබාදීමට නියමිතය.
– පිළිකා ප්රතිකාර සහ අත්යවශ්ය වෛද්ය ප්රතිකාර: බරපතළ රෝගාබාධ සඳහා වන රක්ෂණ ආවරණය සංශෝධනය කරමින්, පිළිකා ප්රතිකාර සහ ඊට අදාළ පරීක්ෂණ ද ඊට ඇතුළත් කර තිබේ. එමෙන්ම PET ස්කෑන් පරීක්ෂණ සහ හදිසි අනතුරුවලදී අවශ්ය වන ප්රධාන ස්නායු ශල්යකර්ම සඳහා වැයවන මුදල් ද ආවරණයට ඇතුළත් කර ඇත.
– පාසල් ක්රියාකාරකම් අතරතුර සිදුවන මාරක අනතුරු සඳහා රුපියල් ලක්ෂයක දීමනාවක්: පාසල් ක්රීඩා උත්සව, අධ්යාපන චාරිකා වැනි පාසල විසින් සංවිධානය කරන ක්රියාකාරකම් අතරතුර, පාසල් පරිශ්රය තුළ හෝ ඉන් පිටතදී සිදුවන හදිසි අනතුරකින් සිසුවකු මියගියහොත් රුපියල් 100,000ක හදිසි ප්රතිලාභයක් ලබාදීමට නියමිතය.
මෙම යෝජනාව අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යවරිය ලෙස අග්රාමාත්යවරිය විසිනි.
සටහන: ඉහත සඳහන් මුදල් රක්ෂණ යෝජනා ක්රමය යටතේ ලබාදෙන උපරිම ප්රතිලාභ සීමා වන අතර, ඒවා ලබාගැනීමේ කොන්දේසි සහ හිමිකම් තහවුරු කිරීමේ ක්රමවේදය අදාළ රක්ෂණ ගිවිසුමට යටත් වේ.


