‘ටින්කර්‘ ගුවන්තොටේදී අල්ලයි

ඩුබායි හි සැගව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ශ්‍රීදරන් නෙරංජන් නොහොත් ටින්කර් නැමැත්තා ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

36 හැවිරිදි ටින්කර් කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පලනි ශිරාන් ග්ලෝරියන් නොහොත් කොච්චිකඩේ ශිරාන් නැමැත්තාගේ ප්‍රධානතම අනුගාමිකයෙකි .

ටින්කර්  අලුයම 12.05 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 232 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු 2024.10.16 දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත සුසාන භූමිය අසළ දී ත්‍රීරෝද රථයක ගමන් ගත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ පෑලියගොඩ පොලිස් වසමේ 2025.08.19 දින සිදු කළ වෙඩි තැබීමක් සදහා යොදා ගත් ගිනි අවි සැපයීම සිදු කර එදිනම ඩුබායි බලා මෙරටින් පළා ගොස් තිබූ අතර මොහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් ද පනවා තිබුණි .

මෙසේ අත් අඩංගුවට ගත් ටින්කර් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් වෙත භාර දී ඇති අතර මොහු අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *