මාස අටට කුඩු සමග කතුන් 524ක් මාට්ටු

මෙම ජනවාරි මස 1 වැනිදා සිට  මාස 8 කට ආසන්න කාලය තුළදී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් 524 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

අත්අඩංගුවට පත්ව ඇති බොහෝ කාන්තාවන් අවුරුදු 22 ත් 60 ත් අතර විවාහක කාන්තාවන් වන අතර ඉතා සුළු පිරිසක් අවිවාහක තරුණියෝ ඒ අතර සිටිති.

එම අවිවාහක තරුණියන්ගේ මවුපියන් බොහෝදුරට අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ හෝ ජාවාරමේ නිරතවන බවත් ඔවුන්ගේ ජාවාරමට සහායදීම සදහා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී එම තරුණියන් අත්අඩංගුවට ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඊට අමතරව ගංජා සම්බන්ධයෙන් කාන්තාවෝ 378 ක්, හෙරොයින් සම්බන්ධයෙන් කාන්තාවෝ 434 ක්, මත්පෙති සම්බන්ධයෙන් කාන්තාවෝ 23 දෙනෙක්, හෑෂ් සම්බන්ධයෙන් කාන්තාවෝ 6 දෙනෙක්, වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කාන්තාවෝ 39 ක්, කොකෙන් සම්බන්ධයෙන් කාන්තාවෝ 2 දෙනෙක් ඉකුත් මාස 8 ඇතුළත අත්අඩංගුවට ගත්හ.

2016 අංක 12 දරණ තොරතුරුර දැන ගැනීමේ පනත අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් කළ ඉල්ලීමකට අනුව එම තොරතුරු අනාවරණය විය.

ඉකුත් 2024 වසර සදහා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් 428 දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර මෙම වසරේ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන්ගේ වර්ධනයක් දැකිය හැකි බව එම කාර්යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *