බොරැල්ලේ වෙඩි තැබීමකින් පහක් රෝහලට

බොරැල්ල සහසරපුර සිරිසර උයන ක්‍රීඩාංගනයේ රැඳී සිටි පුද්ගලයන් පස් දෙනකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු විසින් කළ වෙඩි වරුසාවකින් එම පුද්ගලයන් පස්දෙනා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව බොරැල්ල පොලිසිය පවසයි.

නාඳුනන වෙඩික්කරුවන් ටී – 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර විස්සක් පමණ එල්ල කර ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන චතු නැමැත්තාගේ පාර්ශවයේ කණ්ඩායමකට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට දැනට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම වෙඩි තැබීම ඊයේ සවස සිදුව ඇති බව පොලිසිය කියයි.

වෙඩි වැදුණු පුද්ගලයන් දෙදෙනකු බරපතල තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පසුගිය දිනවල සිදු වූ වෙඩි තැබීම්වලට පළිගැනීමක් වශයෙන් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි පොලිසිය සැකපල කරයි.

බොරැල්ල පොලිසිය, කොළඹ අපරාධ කොට්ඨාශය, පොලිස් විශේෂ කාර්‍ය බළකාය ඇතුළු පොලිස් කණ්ඩායම් කීපයක්  විමර්ශන ආරම්භ කර තිබුණි.

වෙඩික්කරුවන් පැමිණි ආකාරය සම්බන්ධයෙන් සිසි ටීවී දර්ශන ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *