පොළොන්නරුව රෝහලට ජපානෙන් රුධිර කාන්දුකරණ යන්ත්‍ර දෙකක්

උතුරු මැද පළාතේ ප්‍රධානතම රෝහලක් වන පොළොන්නරුව  ශික්ෂණ රෝහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ  නිරීක්ෂණයට ලක්විය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි සියලු රෝහල්  විධිමත් සංවර්ධන සැලැස්මක් යටතේ  සංවර්ධනය කරමින් එම දිස්ත්‍රික්කයේ වෙසෙන 500,000 ක පමණ ජනතාවට මෙන්ම මඩකළපුව, අම්පාර, මාතලේ, ත්‍රිකුණාමලය, අනුරාධපුර වැනි අවට දිස්ත්‍රික්ක වල ජනතාවට ද  ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම අරමුණු කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම  නිරීක්ෂණය කළේය.

මෙහි දී පොළොන්නරුව ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය,  ඇතුළු බොහෝ ඒකක මෙන් ම රෝහලේ සංවර්ධන ව්‍යාපෘති සහ එම ව්‍යාපෘති වල වත්මන් තත්ත්වයන්, ඉදිරි මෙහෙයුම් කටයුතු ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ  නිරික්ෂණයට ලක් විය.

ජපානයේ  ස්වේච්ඡා පදනමක් වන “GS CHARITY” විසින් රෝහල වෙත පරිත්‍යාග කරන ලද රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සිදුකිරීම සඳහා යොදා ගන්නා රුධිර කාන්දුකරණ යන්ත්‍ර 2 ක් මෙහිදී මැදවච්චියේ ධම්ම ජෝති හිමි විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත බාර දුන්නේය.

මෙම අවස්ථාවට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, නිවාස හා  නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එන්.ආර්.පී බණ්ඩාර, බී.එම්.එස් රත්නසිරි, පොළොන්නරුව ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය උපුල් කරුණාරත්න, සෞඛ්‍ය  අමාත්‍යාංශයේ  නිලධාරීන්, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද  කාර්ය මණ්ඩල ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *