අ.පො.ස. (උසස් පෙළ) විභාගය ඉහළින් සමත් වූ සිසුන් හට සිය ප්‍රථම උපාධිය විදේශීය විශ්ව විද්‍යාල වල හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමේ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ” ශිෂ්ට සම්පන්න පුරවැසියෙක් – දියුණු මානව සම්පතක් ” නිර්මාණය කිරීමේ අරමුණ යථාර්ථයක් කිරීම උදෙසා අ.පො.ස. (උසස් පෙළ) විභාගය ඉහළින් සමත් වූ සිසුන්ට සිය ප්‍රථම උපාධිය ජාත්‍යන්තර ඉහළ ශ්‍රේණි ගත කිරීමක් සහිත විදේශීය විශ්වවිද්‍යාල වල හැදෑරීම සඳහා අවශ්‍ය ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස 2025 අයවැය යෝජනාවක් මඟින් රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අන්තර්ජාතික විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම දර්ශකයන්හි පළමු ස්ථාන 500 අතර පවතින, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම සිදු කෙරෙන විදේශීය විශ්ව විද්‍යාල වෙතින් උපරිම වසර 4ක් සඳහා උපාධි පාඨමාලා සම්පූර්ණ කිරීමට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට යෝජිතය.
එම වැඩසටහන මඟින් පස් අවුරුදු සැලැස්මක් යටතේ සිසුන් 200ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති අතර, එහි ප්‍රථම අදියර යටතේ 2025 වසර සඳහා සිසුන් 20ත් 50ත් අතර සංඛ්‍යාවක් තෝරා ගැනීමට අපේක්ෂිතය.
අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රධාන විෂය ධාරාවන් යටතේ ඉහළම ඉසෙඩ් අගය (z – score) සහිත සිසුන්ට මේ සඳහා අයැදුම් කිරීමට අවස්ථාව ලබා දෙනු ලබයි. එකී අයදුම්පත් අතරින් සුදුසු සිසුන් තෝරා ගැනීම විශ්ව විද්‍යාල මහාචාර්ය වරුන්ගෙන් සහ ආචාර්යවරුන්ගෙන් සමන්විත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මඟින් සිදු කරනු ලබයි.
ඒ අනුව, යෝජිත ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාසන සහ වෘත්තීය අධ්‍යාපන අමාය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.