යුද්ධ හමුදාව අපකීර්තියට ලක්කිරීම උත්සාහයක් ගැන දැනුම් දීමක්

යුද හමුදාව විසින් ගන්නා ලබන පරිපාලනමය තීන්දු තීරණ හා ක්‍රමවේදයන් වැරදි ලෙස අර්ථ දක්වමින් සිවිල් සමාජය තුළ යුද්ධ හමුදාව අපකීර්තියට ලක්කිරීම සඳහා යම් යම්  සමාජ මාධ්‍ය ජාලා විසින් කටයුතු කරන බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.

පසුගිය දිනක සමාජ මාධ්‍ය කිහිපයක් විසින් යුද්ධ හමුදාව මගින් කූඨ ලියකියවිලි සාදා සේනාධිනායක වන අතිගරු ජනාධිපතිතුමාගේ අනුමැතියකින් තොරව වංචාකාරී ලෙස නිලධාරීන් කිහිපදෙනෙකු යුද්ධ හමුදාවෙන් ඉවත්කර ඇති බවත්, තවත් නිලධාරීන් ගණනාවක් පෞද්ගලික කෝන්තර මත යුද්ධ හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටිනා බවත් ප්‍රකාශ කර තිබෙන බවද පෙන්වා දෙයි.

මෙසේ කර ඇති ප්‍රකාශයන් තුළින් ගම්‍ය වන්නේ ඔවුන් හට යුද්ධ හමුදාවේ පරිපාලන කටයුතු සබැඳිව නිසි අවබෝධයක් නොමැති බවත්, විවිධ පාර්ශ්ව විසින් තමන්ගේ පටු අරමුණු ඉෂ්ට කරගැනීම සඳහා ඔවුන් වෙත ලබාදී ඇති තොරතුරු වගකීම් විරහිතව සමාජගත කරමින් සිටිනා  බවද සඳහන්  කරයි.

ආරක්ෂක කරුණු හේතුවෙන් යුද්ධ හමුදාවේ සිදුවන සෑම කටයුත්තක්ම සමාජයට අනාවරණය කළ නොහැකි බවත් මෙම මතුකර ඇති කරුණු හේතුවෙන් යුද්ධ හමුදාව පෞද්ගලික න්‍යායපත්‍රයන් හා පළිගැනීම් මත ක්‍රියාකරන ආයතනයක් බවට මහජනතාව තුළ වැරදි සිතුවිලි ඇතිවීමට ඉඩකඩ තිබෙන බවද සඳහන් කරයි.
යුද්ධ හමුදාවේ නිලධාරී සංයුතියට අනුව එය පහළ සිට ඉහළට පිරමීඩාකාරව හැඩගැන්වී ඇති ආයතනයක් බවත් ඒ අනුව පහළ ස්ථරවල නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සිටින නමුදු ඉහළ ස්ථරවලට යාමේදී එය ක්‍රමාණුකූලව වන බවද පෙන්වා  දෙයි.

එම පිරමීඩාකාර සැකිල්ල නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදාව විසින් විවිධ පරිපාලන නිර්ණායක ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව එක් එක් ස්ථරවල සිට ඉන් ඉහළ ස්ථරයට යෑම සඳහා සපුරාලිය යුතු නිර්ණායක සපුරාලීමට අපොහොසත්වන නිලධාරින් හට සේවයෙන් ඉවත්වීමට වන බවද සඳහන් කරයි.

 

යුද්ධ හමුදාව යනු ජාතික ආරක්ෂාව සබැඳිව කටයුතු කරන ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානතම කොටස්කරුවෙකි. එවැනි ආයතනයක රැඳී සිටිය යුතු වන්නේ විනයගරුක හා කාර්යක්ෂම අයවලුන් පමණි. නැතහොත් සිදුවන්නේ හමුදාවේ ගුණාත්මකභාවය අඩුවීමයි. එය ජාතික ආරක්ෂාවට අහිතකර ලෙස බලපායි. එබැවින් රටේ යහපත වෙනුවෙන් ගුණාත්මක හමුදාවක් පවත්වාගැනීම සඳහා ගන්නා ලබන තීරණ වැරදි ලෙස සමාජගත නොකරන ලෙසත්,  ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *