රම්බොඩ බස් අනතුරින් මිය ගිය ගණන 21ක් දක්වා ඉහළට

කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් නුවරඑලිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් එම බස් රථයේ ගමන් ගත් 21 දෙනෙකු ගොස් ඇති බව කොත්මලේ පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

එම 21 දෙනාගේ සිරුරු මේ වන විට කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ තැම්පත් කර ඇති අතර, අනතුරින් මිය ගිය තවත් කිහිප දෙනෙකුගේ සිරුරු බස් රථයට යට වී ඇති බවත්, එම සිරුරු ගොඩ ගැනීමට පොලිසිය සහ ප්‍රදේශවාසීන් දැඩි උත්සහයක් නිරත වෙමින් පවති.

බස් රථයේ රියදුරාද අනතුරින් මියගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.

බස් රථය (11) දින අළුයම 4:30ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර, ධාවනය වෙමින් තිබූ බස් රථය තුළ මගීන් 75 දෙනෙකු පමණ ගමන් කර ඇති බවත්, අනතුරින් තුවාල ලැබූ තුවාලකරුවන් කොත්මලේ ප්‍රාදේශීය රෝහල, නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල, ගම්පොළ සහ නාවලපිටිය මූලික රෝහල් වෙත මාරු කර යවා ඇති බවත්, ඉන් තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බවයි පොලිසිය කියා සිටියේ.

ධාවනය  වෙමින් තිබූ බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතු වී ඇති බවට අනතුර පිළිබද පරික්ෂණ පවත්වන කොත්මලේ පොලිසිය සැකකරයි.

අනතුර පිළිබද සොයා  බැලීමට කථානායක ජගත් වික්‍රමරත්න මහතා සහ ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන එම ස්ථානයට පැමිණ සිටියහ.

මෙහිදි මාධ්‍යට අදහස් දැක්වූ ප්‍රවාන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා කියා සිටියේ අනතුරින් මිය ගිය සි‍යලු දෙනාගේ පවුල්වලට රජය සිය ශෝකය ප්‍රකාශකරන බවයි.

ඉදිරියේදි මෙවැනි අනතුරු සිදු වීම පාලනය කිරිමට පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

අනතුරින් තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියෙකු කියා සිටියේ තමන් කතරගම සිට මහනුවර දක්වා යෑමට බස් රථයට ගොඩ වූ බවයි. බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ බස් රථය තුළ 100කට ආසන්න පිරිසක් සිටියා. පාන්දර එක පාරටම බස් එක ඇදිලා යනවා දැනුනා. ඊට පස්සේ බස් එක තේ වත්ත පැත්තට පෙරලෙන ගමන් මම අමාරුවෙන් එලියට ඇවිල්ලා පුළුවන් අයව එලියට ගත්තා. යනුවෙන් පැවසීය.

මෙම බස් රථ අනතුරින් බස් රථයේ රියදුරු වන ඩබ්ලිව්. කැළුම් චන්දන (38) ද මිය ගිය බව පොලිසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *