පොලිස්පති දේශබන්දුට මැතිසබා කමිටුවෙන් චෝදනා පත්‍රයක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව  ඉදිරි දෙසතියේදී  එම චෝදනා පිළිබඳව   තෙන්නකෝන් මහතාගෙන්  කරුණු විමසීමට නියමිතය.

කමිටුව විසින් ප්‍රථමයෙන් තෙන්නකෝන් මහතාට  චෝදනා පත්‍රයක් බාරදෙනු ඇත.

මෙයට අමතරව ඔහුට එරෙහිව ඇති චෝදනා සනාථ කර ගැනීම සඳහා පොලිස් ප්‍රධානීන් ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක්ද  වෙඩි ප්‍රහාරයට ලක් වූ මාතර වැලිගම හෝටලයේ පිරිස්ද මෙම කමිටුව හමුවට කැඳවා ප්‍රකාශ සටහන් කර  ගැනීමට කමිටුව බලාපොරොත්තු වෙයි.

පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන  ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පසුගියදා පත් කරනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ  සභාපතිත්වයෙන් යුතු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති අභියාචනාධිකරණයේ හිටපු විනිසුරු නීල් ඉද්දවල  සහ  ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත්  ඒකනායක  යන මහත්වරු පත්කරනු ලැබ සිටිති.

මෙම කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිය විමර්ශන සම්බන්ධයෙන් පසුගිය 23 සහ ඊයේ (25) මූලික සාකච්ඡා පැවැත්වීය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අදාල යෝජනාව පාර්ලිමේන්තුවේදී පසුගිය8 වැනිදා  වැඩි ඡන්දයෙන් සම්මතවිය.

මෙම ත්‍රිපුද්ගල කමිටුව සිය විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් පසු අවසන් වාර්තාව කතානායකවරයාට භාර දීමට නියමිතය.

බොහෝදුරට කමිටු වාර්තාව ලබන මාස අවසානයේදී  කතානායකවරයාට බාර දෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ ඉන් අනතුරුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *