උත්සව සමයේ විශේෂ රථවාහන මෙහෙයුමක්

උත්සව සමයේ බස්රථ ඇතුළු වාහන පරීක්ෂා කිරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.

පසුගිය දිනවල මගී ප්‍රවාහන බස්රථ ඇතුළු වාහනවලන් සිදුවූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් මගී ප්‍රවාහන බස්රථ පරීක්ෂණා කිරීමක් සිදුකෙරන අතර රියැදුරන් මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නේද යන්න විශේෂයෙන් සොයා බැ‍ලෙන අතර අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම, මාර්ග නීති උල්ලංඝනය කරමින් රිය ධාවනය කිරීම, ධාවනය නුසුදුසු තත්ත්වයේ වාහන ධාවනය කිරීම ඇතුළු අනතුරුදායක තත්ත්වයෙන් රිය ධාවනය කරන පුද්ගලයන් පරීක්ෂා කිරීම සිදුකරනු ලබන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

දිවයින පුරා මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කරන අතර පැය 24 පුරා නිලධාරීන් යොදවන බවද මනතුංග මහතා පැවැසීය.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරන කාල සීමාව තුළදී අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කරනු ලබන රියැදුරන් සම්බන්ධයෙන් 119 සහ 1997 යන කෙටි දුරකතන අංකවලට තොරතුරු ලබාදිය හැකි අතර මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හෝ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් වීඩියෝ පට ඇත්නම් ඒවාද වට්ස්ඇප් මගින් එවීමේ හැකියාව ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය 0718591741, රථවාහන මූලස්ථානයේ අධ්‍යක්ෂ 0718591967, බස්නාහිර පළාත් උතුර රථවාහන කොට්ටාසයේ අධ්‍යක්ෂ 0718592857, බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ 0718592278 යන දුරකතන අංකවලට ඇමැතිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *