ඇමෙරිකාවට ඩ්‍රෝන යානා බියක්

ඇමෙරිකාවේ තැනින් තැන මතුවන අභිරහස් ඩ්‍රෝන යානා හේතුවෙන් නිව් ජර්සි ප්‍රාන්තයේ නගර 23 ක සහ නිව් යෝර්ක් නගරයේ ප්‍රදේශ 30 ක අනවසර ඩ්‍රෝන ගුවන්ගත කිරීම තහනම් කරමින් එරට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය නියෝගයක් නිකුත් කර ඇත.

නිව් ජර්සි ප්‍රාන්තයේ නගර 23 ක් සඳහා පනවා ඇති ඩ්‍රෝන තහනම එළැඹෙන 17 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර නිව් යෝර්ක් නගරයේ ප්‍රදේශ 30 සඳහා පසුගිය 20 වැනිදා පැනවූ ඩ්‍රෝන තහනම දින 30 කාලයක් සඳහා ක්‍රියාත්මකය.

විශේෂ ආරක්ෂක හේතුන් මත යැයි පවසමින් ඉතා වැදගත්කමක් සහිත ගොඩනැගිලි පිහිටි ප්‍රදේශ සහ නගර 53 ක ඩ්‍රෝන ගුවන් යානා ගුවන්ගත කිරීම මෙලෙස ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය තහනම් කර තිබිණි. අබිරහස විසඳීම සඳහා ඩ්‍රෝන ගුවන්ගත කිරීම සීමා කරන ලෙස ෆෙඩරල් ආරක්ෂක සේවා කළ ඉල්ලීමක් මත මෙම ගුවන් තහනම පැනවූ බව ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලන නිලධාරීහු ප්‍රකාශ කළහ.

ඇමෙරිකාවේ තැනින් තැන මතුවන ඩ්‍රෝන යානා පිළිබඳව එෆ්.බී.අයි ආයතනය, ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ අනෙකුත් රාජ්‍ය ආයතන විමර්ශනයක් සිදුකරන අතර මෙතෙක් එලෙස අබිරහස් අයුරින් මතුවන ඩ්‍රෝන යානා ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට හෝ ඇමෙරිකානුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බවට පැවසිය හැකි සාක්ෂියක් මෙතෙක් හමුවී නොමැති බවද විමර්ශකයෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *