බංගලාදේශය යළි ඇවිලේ

රජයේ රැකියා කෝටාවට විරෝධයපාමින් පැවති විරෝධතාවලදී මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලා ඇරඹි විරෝධතා ප්‍රචණ්ඩ වීම හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු අද සවස 6 සිට ඇඳිරි නීතිය පැනවීමට බංග්ලාදේශ රජය තීරණය කළේය.

මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලා පෙරේදා(03) විරෝධතා ආරම්භ විය.ප්‍රචණ්ඩකාරී විරෝධතා හේතුවෙන් දෙදින තුළ පුද්ගලයන් 76 දෙනකු මියගොස් ඇති ඇති බවත් ඉන් 13 දෙනකු පොලිස් නිලධාරීන් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මරණ ඩකා නගරය ඇතුළු නගර කීපයක වාර්තා වී ඇති බවත් විරෝධතාකරුවන් සිරාජ්ගාන්ජ් නගරයේ ඉනායත්පූර් පොලිස් ස්ථානයටද පහරදී ඇති බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

බොහෝ නගරවල පොලිසිය විරෝධතා මර්දනය කිරීමට යාමේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් හටගෙන ඇති බවද විදෙස් වාර්තා කළේය.

ඇඳිරි නීතිය පනවමින් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ප්‍රකාශ කර සිටියේ විරෝධතාකරුවන් දේපළ ගිනි තබමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බවත් ඔවුන් තවදුරටත් සිසුන් ලෙස සැලකිය නොහැකි බවත්ය. ඔවුන් සිසුන් නොව රට අස්ථාවර කිරීමට උත්සාහ දරණ කඩාකප්පල්කරුවන් පිරිසක් බවද ඇය පැවැසුවාය.

අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ප්‍රමුඛ රජය ඉල්ලා අස්විය යුතු බවත් විරෝධතාවලදී 200 කට අධික පිරිසක් මියයාම සම්බන්ධයෙන් හසීනා මහත්මියට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *