ජනාධිපතිවරණයේ කටයුතු සඳහා සහයෝගය ලබා ගැනීමට සියලුම රාජ්‍ය සහ අනෙකුත් ආයතන ප්‍රධානීන් ඉදිරි සතියේදී මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.
මේ අනුව සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා සහ මණ්ඩලවල ප්‍රධානීන්, දේශීය නිරීක්ෂණ ආයතන ප්‍රධානීන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවන බවද ඔහු සඳහන් කළේය.
එසේම මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සඳහා දිවයිනේ සියලුම තේරීම් භාර නිලධාරීන්, දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් 04 සෙනසුරාදා රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයට කැඳවීමට නියමිතය.
මැතිවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සියලුම ආරක්ෂක අංශ ප්‍රධානීන් සමගද ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන යන බවද රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.