වීසා ඉක්මවූ විදේශිකයන් 2,400ක් ශ්‍රී ලංකාවේ

වීසා කාලය ඉක්මවූ 2,400 ඉක්මවූ විදේශිකයන් පිරිසක් මෙරට තුළ සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව මෙරට තුළ ව්‍යාපාරවල නිරතවන විදේශීකයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔවුන් මේබව සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසා සිටියේ, වැලිගම ප්‍රදේශයේ රුසියානු සහ යුක්‍රේන ජාතිකයින් රැසක් වෙළෙඳාම් කටයුතුවල නියැලෙන බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය පවසා සිටියේ, මෙම තත්ත්වයට කඩිනමින් විසඳුමක් ලබාදුන්නේ නැත්නම් ඉතා භයානක තත්ත්වයක් ඇති විය හැකි බවට දේශීය වෙළෙඳුන් අනතුරු ඇඟවූ බවය.

මේ අතර ඊශ්‍රායල ජාතිකයින් ද මේ වනවිට දකුණු පළාතේ වෙළෙඳාම් සිදුකරන බවට තොරතුරු ලැබී ඇතැයි පැවසු ඩයනා ගමගේ මහත්මිය, මෙම වෙළෙඳාම් කටයුතු සඳහා සහාය ලබාදෙන දේශීය පුද්ගලයින්ව වහාම අත්අඩංගුවට ගත යුතු බව ද පැවසීය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජනරාල් අයි.එස්.එච්.ජේ.ඉළුක්පිටිය මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ, මේ සඳහා මේ වනවිටත් වැඩසටනක් දියත් කර ඇති බවය.

දකුණු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග මේ සතියේ අදාළ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත අතර, ඒ අනුව පොලීසියේ මැදිහත්වීම මත ඉතා ඉක්මනින් මෙයට ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *