ඇඳුම් මල්ලටත් සියයට එකක වට්ටමක්

පොලිතීන් බෑග් නොගන්නා රෙදිපිළි පාරිභෝගිකයන්ටත් මුළු බිලෙන්  සියයට එකක වට්ටමක් දෙන ලෙස පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව දිවයිනේ ප්‍රධාන පෙළේ රෙදිපිළි  අලෙවි ආයතනවලට නිර්දේශ කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේ, ඒ  සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් දැනුම් දෙන බව එම ආයතන කාරක සභාවට දැනුම් දුන් බවයි.

මේ අතර පොලිතින් බෑග් නොගන්නා පාරිභෝගිකයන්ට රුපියල් පහක වට්ටමක් ලබාදීමට ප්‍රධාන වෙළෙඳසල් ( සුපර් මාර්කට්) හිමිකරුවෝ එම කාරක සභාව හමුවේ එකඟ වූහ.

පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගම්පහ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු  අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  රැස්විය. මෙම කරුණු අනාවරණය වූයේ එම රැස්වීමේදී ය.

මේ අතර ප්ලාස්ටික් බෝතල් වලට කිව්.ආර් කේතයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පරිසර අධිකාරියේ ප්‍රධානීන් සහ වතුර සහ බීම වර්ග  නිෂ්පාදකයන්  එම කමිටුව හමුවට ලබන  2 වැනිදා  කැඳවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *