ONMAXDT සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්

“ONMAXDT ප්‍රයිවට් ලිමිටඩ්” නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් නීතිවිරෝධී ආකාරයේ පිරමීඩ මූල්‍ය ජාවාරමක් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා  වරෙන්තු නිකුත් කර තිබේ.

චාමර වික්‍රමතිලක නමැති සැකකරුවෙකුට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.

එමෙන්ම එම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිය භාරයට ගෙන ඇති පරිගණක දුරකථන ඇතුළු භාණ්ඩ පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය වෙත යොමුකර වාර්තාවක් කැඳවීමටද අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකයට අවසර ලැබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් 5 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි අතර ඔවුන් මේ වනවිට ඇප මත මුදා හැර තිබේ.

ඉන්දික සම්පත්, ගයේශාන් අබේරත්න, සමිත් සඳරුවන්, ඉන්දික ජයසේකර හා ධනංජය ගයාන් ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු මෙලෙස ඇප මත මුදාහැර ඇත.

මෙම පිරමීඩ ආකාරයේ මූල්‍ය ජාවාරමට පුද්ගලයන් දෙලක්ෂ විසි දහසකට ආසන්න පිරිසක් හසුවී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය පෙර නඩු වාරයේදී අධිකරණයට දැනුම්දී තිබුණි

මේ වනවිට සිදුකර තිබෙන විමර්ශනවලට අනුව රුපියල් කෝටි 3000 ක පමණ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවද මහජනතාවගෙන් ලබාගත් මෙම මුදල් හරහා මෙම සැකකරුවන් හෝටල්, ඉඩම් වාහන, ඇතුළු රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ ලබාගෙන ඇති බවද එම ඒකකය වැඩිදුරටත් කරුණු දක්වා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *