ෂම්මි ගේ පෙත්සම ගැන ලැබුණු නියෝගය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ගනු ලැබූ තීරණයට අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඉදිරි පත්කළ පෙත්සමට අදාළ විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය ඊයේ(15) තීන්දු කළේය.

මෙම පෙත්සම අද නැවතත් සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අතුරුපාලක කමිටුවක් පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කරගන්නා බව දන්වා සිය සේවා දායකයා විසින්  ඉකුත් 12 වනදා නිකුත් කළ ගැසට් නිවේදනයේ තිබෙන තාක්ෂණික දෝෂ නිවැරැදි කර තිබෙන බව සඳහන් කළේය.

එසේ නිවැරදි කළ ගැසට් නිවේදනයක් පසුගිය 13 වනදා නිකුත් කිරීමට කටයුතු කෙරුණු බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

මෙහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු සෝභිත රාජකරුණා මහතා පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම තත්ත්වය හමුවේ අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතුවන්නේදැයි විමසා සිටියේය.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අවශ්‍යතාවයක් මතුවුවහොත් මෙම පෙත්සම යළි කැදවීමේ අයිතිය රඳවා ගනිමින් එහි විභාග කටයුතු අවසන් කිරීමට පෙත්සම්කරු එකඟවන බව සඳහන් කළේය.

ඒ අනුව නීතිමය අවශ්‍යතාවයක් මතු වුවහොත් එම පෙත්සම යළි කැඳවීම සඳහා පෙත්සම්කරුගේ අයිතිය රඳවා ගනිමින් එහි විභාග කටයුතු අවසන් කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *