Monday, 16 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

බැඳුම්කර සිද්ධියට අදාළ නියෝගයකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

පළමු මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවේ පොදු දේපොළ පනත යටතට ගැනෙන චෝදනාවලින් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් ලබාදී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවා තිබේ.

නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අභියාචනයක් කැඳවූ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එම නියෝගය ලබාදී ඇත.

එමෙන්ම කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ පවතින අදාළ නඩුවේ සෙසු චෝදනා විභාග කිරීම වළක්වාලමින් ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

2015 වසරේ පෙබරවාරි මස 27 වැනි දින පැවති මහ බැංකු බැඳුම්කර වෙන්දේසියක දී රජයට අයත් රුපියල් මිලියන 688ක් සාවද්‍ය පරිහරණය කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව එම නඩුව පවරා තිබුණි.

ඔබේ අදහස