මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 100,000 ඉක්මවයි

ජනවාරි මාසයේ සිට මේ දක්වා සංචාරකයින් ලක්ෂයකට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 28 වැනිදා දක්වා සංචාරකයින් 101,872ක් පැමිණ ඇති අතර නොවැම්බර් 1 වැනිදා සිට පසුගිය 28 වැනිදා දක්වා සංචාරකයන් 41,177ක් මෙරටට පැමිණ ඇත.

සංචාරක සංවර්ධන අධිකාරියට අනුව මේ මාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.

මේ වසරේ නොවැම්බර් මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 13,368 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර ඉන්දියාවෙන් පසු පසුගිය දින 28 තුළ රුසියාවෙන් දෙවන වැඩිම සංචාරක පැමිණීම් සංඛ්‍යාව වන 3,449 වාර්තා වී තිබේ.

මීට අමතරව එක්සත් රාජධානිය, පකිස්ථානය, ජර්මනිය, මාලදිවයින, ප්‍රංශය, එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව යන රටවලින් සංචාරකයින් පැමිණ ඇත.

මේ වසර අවසන් වන විට සංචාරකයන් 150,000ත් 180,000ත් අතර ප්‍රමාණයක් මෙරටට පැමිණෙනු ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය අනාවැකි පළ කරයි.

ලබන වසර වන විට සංචාරක ව්‍යාපාරය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විශ්වාසය පළ කරන බවද එම අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *