ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා, සෞදි අරාබියේ මරණ දඬුවමට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ට මානුෂීය හේතූන් මත සමාව ලබාදෙන ලෙස සෞදි අරාබි රාජධානියෙන් ප්‍රසිද්ධ ඉල්ලීමක් කර තිබේ.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් ජයසූරිය මහතා පෙන්වා දී ඇත්තේ ආගම හෝ ජනවාර්ගිකත්වය නොසලකා සියලු ශ්‍රී ලාංකිකයන් අනෝජන් වෙනුවෙන් මානුෂීය පදනමකින් එකමුතුව ඉල්ලීමක් කරන බවයි.
“ශ්‍රී ලාංකිකයන් ලෙස අපි අපගේ ආගම හෝ ජනවාර්ගිකත්වය නොසලකා එකට සිටිමු. අපගේ සහෝදර ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ට මානුෂීය හේතූන් මත සමාව ලබාදීම පිළිබඳව කාරුණිකව සලකා බලන ලෙස සෞදි අරාබි රාජධානියෙන් නිහතමානීව ඉල්ලා සිටිමු,” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.
මෙම සටහනට සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් කුමරු සහ එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ද ජයසූරිය මහතා විසින් සම්බන්ධ කරගෙන ඇත.
අනෝජන්ට සමාව ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් වන ඉල්ලීම් අතරට මෙරට ක්‍රීඩා ක්ෂේත්රයේ ප්රමුඛ චරිතයක් වන ජයසූරිය මහතාගේ හඬ ද එක්වීම විශේෂත්වයකි.
කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අනෝජන්, ඉස්ලාම් ආගමට අපහාසයක් ලෙස සැලකුණු සමාජ මාධ්‍ය සටහනක් පළ කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම කරනු ලැබීය.
එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නීති නියෝජිත කණ්ඩායමක් සෞදි නීතිඥවරුන් සමඟ එක්ව කටයුතු කරමින් සිටී. ඒ අනුව, සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීමට ද නියමිතය.
මේ අතර, අනෝජන්ට සමාව ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් උත්සාහයන්හි නිරතව සිටී.


