දකුණු කැරොලිනාවේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ට්රම්ප් මේ බව සඳහන් කළේය. අත්ලාන්තික් සාගරයේ නම ගූගල් සිතියම්වල වෙනස් කිරීම සම්බන්ධයෙන් තමන් පිචායි සමඟ සාකච්ඡා කළ බව ද ඔහු සිහිපත් කළේය.
මාධ්ය වාර්තාවලට අනුව, එම සංවාදය විස්තර කරමින් ට්රම්ප් මෙසේ පැවසීය.
“මම කිව්වා, සුන්දර්, මම අත්ලාන්තික් සාගරය ගැන හිතමින් ඉන්නේ. ඔබට ඒක කරන්න පුළුවන්ද?”
ට්රම්ප්ගේ ප්රකාශයට අනුව, ඊට පිචායි ප්රතිචාර දක්වා ඇත්තේ, “නැහැ, නැහැ, නැහැ. මේ වතාවේ මම ඒක කරන්නේ නැහැ” යනුවෙනි.
සාගර රටවල් කිහිපයක් පුරා විහිදෙන බැවින් එවැනි නම වෙනස් කිරීම ප්රායෝගික නොවන බව ගූගල් ප්රධානියා පැහැදිලි කළේ යැයි ද ට්රම්ප් කියා සිටියේය.
“ඔහු කිව්වා, ‘මහත්මයා, සාගර වෙනස්. ඒවා රටවල් ගොඩක් පුරා විහිදෙනවා. කරුණාකරලා අපෙන් ඒ දේ කරන්න කියලා ඉල්ලන්න එපා’ කියලා,” යනුවෙන් ට්රම්ප් පැවසීය.
අනතුරුව, අත්ලාන්තික් සාගරයට දැනට පවතින නමම තවදුරටත් භාවිත කළ යුතු ද යන්න ප්රේක්ෂකයන්ගෙන් විමසමින් එම අදහස අත්හැරීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයා ඉඟි කළේය.
මෙක්සිකෝ බොක්ක ‘ඇමෙරිකා බොක්ක’ (Gulf of America) ලෙසත්, ඔන්ටාරියෝ විල ‘ඇමෙරිකා විල’ (Lake America) ලෙසත් නම් කිරීමට ට්රම්ප් මීට පෙර ගත් උත්සාහයන්ගෙන් පසුව මෙම ප්රකාශය සිදු කර තිබේ.
ඇමෙරිකානු පරිශීලකයන් සඳහා ගූගල් සිතියම්වල එම නම් භාවිත කර ඇති අතර, වෙනත් රටවල පරිශීලකයන් සඳහා විවිධ නම් කිරීමේ ක්රමවේද අනුගමනය කර ඇත.
අත්ලාන්තික් හෝ පැසිෆික් සාගරය ‘ට්රම්ප් සාගරය’ හෝ ‘ඇමෙරිකා මහාද්වීපවල සාගරය’ (Ocean of the Americas) ලෙස නම් කිරීමේ හැකියාව ද ට්රම්ප් මීට පෙර යෝජනා කර තිබිණි.


