2028 ඔලිම්පික් ඉලක්ක කර ගනිමින් ක්‍රීඩකයින් 140කට මූල්‍ය දීමනා

යොවුන් කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසන්නේ Mission Olympic 2028 වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රජය දැනටමත් ශක්තිමත් පදනමක් සකස් කර ඇති බවයි.

කෙටි කාලයක් තුළ ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් මෙතෙක් නොවූ විරූ පියවර රැසක් ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කුලියාපිටිය ජනාධිපති ශිල්ප කලා ශාලිකා ක්‍රීඩාංගණයේ අලුතින් ඉදිකළ ක්‍රීඩා මණ්ඩපය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු පැවසුවේ 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් ජාතික මට්ටමේ ක්‍රීඩකයින් 140 දෙනෙකු කාණ්ඩ හතරක් යටතේ මූල්‍ය දීමනා ලබාගැනීම සඳහා තෝරාගෙන ඇති බවයි.

පළමු කාණ්ඩයට අයත් සෑම ක්‍රීඩකයෙකුටම මාසිකව රු. 210,000ක දීමනාවක් හිමිවන අතර, රුමේෂා තරංගා ඇතුළු ක්‍රීඩකයින් කිහිපදෙනෙකු එහි ප්‍රතිලාභීන් අතර සිටින බව අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට පුහුණුකරුවන් සඳහාද මාසික දීමනා ලබාදෙන බවත්, පළමු කාණ්ඩයේ පුහුණුකරුවෙකුට මාසිකව රු. 100,000ක දීමනාවක් හිමිවන බවත් ඔහු සඳහන් කළේය.

මීට අමතරව, පාසල් මට්ටමේ ක්‍රීඩකයින් 1,500කට වැඩි පිරිසකට රු. 10,000 බැගින්ද, ජාතික මට්ටමේ ක්‍රීඩකයින් 380 දෙනෙකුට රු. 60,000 බැගින් පෝෂණ දීමනාවක්ද ලබාදෙමින් සිටින බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් විශේෂ සංවර්ධන වැය ශීර්ෂය යටතේ ඉදිකළ නව ක්‍රීඩා මණ්ඩපය විවෘත කිරීමේ අවස්ථාවේදීය.

එහි ඉදිකිරීම් අදියර දෙකක් යටතේ සිදුකර ඇති අතර, 2025 වසරේදී රු. මිලියන 18.39ක්ද, 2026 වසරේදී රු. මිලියන 20.64ක්ද වැය කර තිබේ. ඒ අනුව සමස්ත ඉදිකිරීම් වියදම ආසන්න වශයෙන් රු. මිලියන 39.03ක් වේ.

මීට අමතරව, අවට පරිසරය අලංකරණය කිරීම සඳහා 2026 වසරේදී තවත් රු. මිලියන 6.80ක් වෙන් කර ඇත.

ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් සඳහා ලබාදෙන මූල්‍ය සහාය සමඟ මෙම ආයෝජන මගින් වයඹ පළාතෙන් මෙන්ම සමස්ත ශ්‍රී ලංකාවෙන්ම ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි පිරිසක් බිහිකිරීමට රජයේ කැපවීම පෙන්නුම් කරන බවද අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *