ශ්‍රී ලංකාව ගොඩනැඟීමේ කාර්යභාරයට අපි එකාවන්ව කටයුතු කළ යුතුයි – අගමැති

“යහපාලනයෙන්, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හා කොවිඩ් -19 වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව” ලෙස මාතෘකාකරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද දිනයේදී නිවේදනයක් නිකුත් කරනු ලැබීය. කොවිඩ් -19 නිසා සියලූම ශ්‍රී ලාංකිකයින්ට ඉතිරි වී ඇති එකම විකල්පය ශ්‍රී ලංකාව ගොඩනැඟීම බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ එම නිවේදනයෙන් අවධාරණය කර සිටී.

කොවිඩ් වසංගත ව්‍යාප්තිය හමුවේ සියලුම රටවල් ආර්ථික දුෂ්කරතා හා මහා පරිමාණ විරැකියාවට පාත්‍ර වෙන බැවින් ශ්‍රී ලාංකිකයන්ට සෞභාග්‍යය සොයා විදේශගත වීමට ඇති අවස්ථාවන්ද සීමා වන බැවින්, කොවිඩ්-19 නිසා සියලුම ශ්‍රී ලාංකිකයින්ට අද ඉතිරි වී ඇත්තේ එක විකල්පයක් පමණක් වන ශ්‍රී ලංකාව ගොඩනැඟීමේ කාර්යභාරය බවත්, මෙම විපතෙන් ගොඩ ඒමට අපි එකාවන්ව කටයුතු කළේ නැතිනම් රටේ අනාගතය අතිශයින්ම අඳුරු වෙනු ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

මඩගැසීම හා බොරු ප්‍රචාර මත පදනම් වූ යහපාලන දේශපාලන සංස්කෘතියට පශ්චාත් කොවිඩ්-19 ලෝකය තුළ කිසිදු තැනක් නැති බව අප වටහා ගත යුතු බවත්, ඉදිරියට එන අසීරු ගෝලීය තත්වයන් යටතේ, ශ්‍රී ලංකාවේ ආර්ථික පැවැත්ම හා අපගේ දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ රට පාලනය කරන අයගේ දෘෂ්ටිය හා හැකියාව මත බවත් අග්‍රාමාත්‍ය වරයා පවසා සිටී.

ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම මෙම කාරණා ගැන හොඳින් කල්පනා කර බලා, රටට වඩාත්ම හිතකර තෝරා ගැනීම සිදු කළ යුතු අතර, කොවිඩ්-19 වසංගතය ලංකාවට එන විට බලයේ සිටියේ යහපාලන කල්ලිය නම්, මේ රටට යන කලදසාව ගැන අමුතුවෙන් කිව යුතු නැති බවත්, වර්තමානයේ මේ රට පාලනය කරන ජනාධිපතිතුමාගේ සිට පහළට සියලුදෙනා, ජයග්‍රහනය කිරීමට නොහැකි යැයි කියූ යුද්ධයක් දිනූ, 2006 – 2014 අතර දැවැන්ත අභියෝග මධ්‍යයේ වුවත් මේ රටේ නිදහසින් පසු විශාලම ආර්ථික පිබිදීම ඇති කළ කණ්ඩායමක් බවත්, කොවිඩ්-19 වසංගතයෙන් පසු ලෝකය තුළ ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය වන්නේ එවන් නායකත්වයක් බවත් එතුමා වැඩිදුරටත් අවධාරණය කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *