පැය 10ක ප්‍රමාදය

ශ්‍රීලන්කන් ගුවන් ගමන් දිගින් දිගටම ප්‍රමාද වන බවට වාර්තා වන පසුබිමක ඊයේ අලුයම කටුනායක සිට තායිලන්තය බලා පිටත්ව යෑමට නියමිතව තිබූ යානයක්ද පියසර කර තිබුණේ පැය 10කට අධික කාලයක් ප්‍රමාදයකින් පසුවය.

සිය ගුවන් මෙහෙයුම් වල ගැටලු සති 2ක් තුළ නිරාකරණය කරන බවට ශ්‍රීලන්කන් බලධාරීන් විෂය භාර අමාත්‍යවරයාට පොරොන්දු වී දින 2ක් ඉක්ම යෑමටත් පෙර මෙම සිදුවීම වාර්තා වුණි.

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 402 දරණ යානය ඊයේ අලුයම 1.10ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත්, යානය මෙරටින් පිටත්ව ගොස් ඇත්තේ නියමිත වේලාවට පැය 10යි මිනිත්තු 27ක් ප්‍රමාද වී එනම් ඊයේ පෙරවරු 11.37 ටය.

එමෙන්ම එම යානය පෙරවරු 8.50ට UL 403 ලෙස යළි එරටින් පිටත් වී පෙරවරු 10.40 ට කටුනායකට ළඟා වීමටත් නියමිතව තිබුණත්, යානය යළි දිවයිනට පැමිණියේ ඊයේ රාත්‍රි 07.35 ටය.

මේ හේතුවෙන් මෙරටින් බැංකොක් බලා පිටත්ව යෑමට සහ එරටින් යළි මෙරට බලා පැමිණීමට නියමිතව සිටි සංචාරකයින්, ව්‍යාපාරකයින් ඇතුළු ගුවන් මගීන් දැඩි ලෙස අසීරුතාවයකට පත් වුණි.

බැංකොක් සිට මෙරටට පැමිණි කබීර් හෂීම්, චන්දිම වීරක්කොඩි, ශානක්කියන් රාසමානික්කම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද ඒ පිරිස අතර වීම විශේෂත්වයකි.

මෙලෙස යානය  ප්‍රමාද වී පියාසර කරවීමට සිදුවූයේ එහි හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය වෙත දන්වා ඇති බව වාර්තා වෙයි.

ගෙවී ගිය සතිය තුළ තවත් ශ්‍රීලන්කන් ගුවන් ගමන් වාර 2ක ප්‍රමාදයන් පිළිබඳව ගුවන් මගීන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස ප්‍රචාරය කර තිබුණි.

මෙලෙස සිදුවන ප්‍රමාදවීම් සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය 2 වැනිදා ශ්‍රීලන්කන් සභාපතිවරයා ඇතුළු බලධාරීන් සහ වෘත්තිය සමිති  සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී අනාවරණ වුණේ පසුගිය කාලයේදී ප්‍රමාද වූ ගුවන් ගමන් වාර 8 කින් පමණක් සිදුවූ පාඩුව අමෙරිකානු ඩොලර් මිලියන 06 ක් බවය.

එහිදී ඉංජිනේරුවන්, තාක්ෂණික දෝෂ හේතුවෙන් ගුවන් ගමන් වාර ප්‍රමාද වන බව විෂය භාර අමාත්‍යවරයාට පවසා තිබූ අතර, පාලනාධිකාරිය සඳහන් කර තිබු‍ණේ වෘත්තිය සමිති අකුරට වැඩ කිරීමෙන් ප්‍රමාදයන් වාර්තාවන බවය.

කෙසේ වෙතත්, ගුවන් ගමන් මෙලෙස අඛණ්ඩව ප්‍රමාද වෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලබන ආයතනයක් බවට පත්වෙමින් ඇත්තේ එය අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ණය මුදලක් යටතේ ක්‍රියාත්මක වෙමින් ඇති පසුබිමකය.

මෙලෙස මෙරට ජාතික ගුවන් සන්නාමනය පිළිබඳ විශ්වාසය රට තුළ හා ජාත්‍යන්තරව බිඳ වැටීම නතර කිරීම සඳහා පියවර ගැනීම බලධාරීන් සතු වගකීමක් නොවන්නේද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *