රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.
” ජන පීඩන පාලනයට එරෙහිව ” යන්න තේමා කරගනිමින් යක්කල නගරයේ දී සාමකාමී උද්ඝෝෂණයක් පවත්වමින් ෆොන්සේකා මහතා එලෙස සදහන් කළේය.
මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හෙතෙම මෙසේද කීය.
” මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් වැඩි පිරිසක් ඉදිරිපත් වෙනවා.ඒ වගේම රටේ ව්‍යාකූල තත්ත්වයක් පවතිනවා. අපේක්ෂකයින් කිසිවෙකුටත් සියයට පනස් එකක් ලබාගැනීමට නොහැකි වේවි. මම හිතනවා ලක්ෂ තිස් පහක් පමණ ගන්නා කෙනෙක් ඉදිරියෙන් ඉදීවි. මේ රටේ පාවෙන ඡන්ද ලක්ෂ හැත්තෑවක් විතර තියෙනවා.
මැති ඇමතිවරුන් රටේ පවතින තත්ත්වය තේරුම් ගත යුතුයි. කාගෙන්වත් ආරාධනා ලැබෙන තෙක් නොසිට රටේ තත්ත්වය සහ පක්ෂ දේශපාලනයෙන් සිදුවූ හානිය සහ පක්ෂ මෙහෙයවන අයගේ වැඩපිළිවෙල පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි. රටේ ජනතාව පසුගිය කාලයේ වෙනසක් ඉල්ලුවා. තරුණ තරුණියන් වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළා. ජනාධිපති මන්දිර කුඩු කළා. ඒ වෙනස දෙන්න තමයි අපි මේ සූදානම් වෙලා ඉන්නෙ.රටේ වැඩිහිටියො තේරුම්ගන්න ඕනෙ , මෙතෙක් කල් කරපු වැරදි නොකර සියලු දෙනාට පෙළ ගැසීමට හැකි තැනක් අපි හදනවා.