ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
පුදබිමට පැමිණි ජනාධිපතිවරයා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසා බැලීය.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ඉදි කෙරෙන රථගාලේ ඉදිකිරීම්වල වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා අටමස්ථානාධිපති නාහිමියන් සමග සාකච්ජා කළේය.
අනතුරුව, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළහ.
මෙවර 5 වසර ශිෂ්‍යත්ව සහ අ.පො.ස. උසස් පෙළ විභාගවලට පෙනී සිටින දරුවන් විශාල පිරිසක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට පැමිණ සිටි අතර, ජනාධිපතිවරයා ඔවුන්ගේ විභාග කටයුතුවලට ආශිර්වාද පළ කර තිබුණි.
එහිදී පැමිණි සිටි ජනතාව සමග ජනාධිපතිවරයා කතාබහක ද නිරත වුණි.
රුවන්වැලි මහා සෑ පුදබිමට ඊයේ (07) පස්වරුවේ පැමිණි ජනාධිපතිවරයා රුවන්වැලි මහා චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගෙන තිබුණි.