මේ වනවිට කොළඹ ජනතාව කෑම ඉල්ලා පාරට බැසීමට සිදුව ඇති බවත්, සෞඛ්‍ය විෂයට ඇමැතිවරුන් හතරක් පත් කර තිබියදීත් කොරෝනා වසංගතය පාලනය කර ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බවත් හිටපු ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පුත්තලමේදී පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන අමතමින්.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පවසි සිටී.
“එදා බෝසතාණන් වහන්සේ සත්‍ය අවබෝධ කර ගැනීමට සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළාක් මෙන් අද මෙරට ජනතාවට පස් අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වී තිබෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා ජනපතිව සිටියදී රටේ දේපළ චීනයට සින්නක්කරව ලබා දුන්නා. ශ්‍රැන්ග්‍රිලා හෝටලය ඉඳි කිරීමට හමුදා මූලස්ථානය පිහිටි භූමියත් කොළඹ වරාය නගරය ඉඳි කිරීමට කොළඹින් තවත් භූමියකුත් ලබා දුන්නා. මහින්ද මහත්තයා වැඩි දවසක් නොගිහින් පුත්තලමින්ද සින්නක්කරයට චීනයට ඉඩම් ලබා දෙන්න කටයුතු කරමින් ඉන්නවා. නොරොච්චෝලේ විදුලි බලාගාරයේ හතර වැනි අදියර ඉඳි කිරීම සඳහා චීන සමාගමකට භූමිය ලබා දීමට කටයුතු සිදු වෙමින් පවතිනවා. ඒවායේ කිසිම අයිතියක් අප රටට හිමි වන්නේ නෑ.
ඒ ලබා දුන් ඉඩමේ නිෂ්පාදනය කරන විදුලි බලයත් මුදල් දී ලබා ගැනීමට අප රටට සිදු වෙනවා. මහජන උපයෝගීතා කොමිසම් සභාව වසා දැමීමට ආණ්ඩුව කටයුතු කළේත් ඉඩම සින්නක්කරයට විකිණීම සඳහා බාධාවක් වූ නිසායි.”