Tuesday, 17 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ආපදා සූදානම ඉහළ නැංවීමට ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ආපදා පෙර සූදානම ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සහ ඉදිරියේදී අපේක්ෂා කෙරෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවිය හැකි සමාජ බලපෑම් පිළිබඳව තක්සේරු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

නොවැම්බර් 16 වැනිදා පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආපදා කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක මුලසුන හොබවමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නවතම කාලගුණික ප්‍රවණතා පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.

පවතින කාලගුණ අනාවැකි පිළිබඳව වැඩිදුර විශ්ලේෂණයක් සිදු කර ප්‍රජාවන්ට ඇතිවිය හැකි බලපෑම් දැක්වෙන වාර්තාවක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට නියෝග කළේය.

පානීය ජලය, විදුලිය සහ ආහාර සැපයුම් තිරසාර ලෙස කළමනාකරණය කිරීම තහවුරු කිරීම සඳහා පවතින සැලසුම් යාවත්කාලීන කිරීමටත්, වනජීවීන්ට ඇතිවිය හැකි බලපෑම් තක්සේරු කර සුදුසු දීර්ඝකාලීන ක්‍රියාමාර්ග හඳුනා ගැනීමටත් මෙම සොයාගැනීම් උපකාරී වනු ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය. එම වාර්තාව සකස් කර අවසන් වූ පසු වැඩිදුර සාකච්ඡා සඳහා ක්ෂේත්‍ර නිලධාරීන් කැඳවන ලෙස ද ඔහු උපදෙස් දුන්නේය.

මෙම සාකච්ඡාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජේමාන්නගේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ගාමිණී ජයතිස්ස යන මහත්වරු එක්ව සිටියහ.

ඔබේ අදහස