ජනතාව හිතුමතේ ඔක්සිජන් සිලින්ඩර ගබඩාකර ගැනීම වැරදි ක්‍රියාවක් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඔක්සිජන් වැඩිපුර ලබාදීමෙන් ද නියුමෝනියා තත්ත්වයක් ඇතිවිය හැකි බවය.
මේ අතර කොවිඩ් ආසාදිත ගැබිනි කාන්තාවකගේ මියගිය මාස 5ක කලලය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවකදී එම කලලය කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.
ඇය 36 හැවිරිදි කාන්තාවකි.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ගම්පොල, උඩ පළාත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එම්.ෆාහිම් මහතා ප්‍රකාශ කළේ ගැබිනි මව්වරුන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවය.
“මව් කුසේදීම නැතිවෙච්ච සති 20ක වගේ දරුවෙක්. කොරෝනා වෛරසය නිසා. යම් අපහසුතාවයක් සමග තමයි ඒ මව රෝහලට ඇතුළත් කළේ. ඒ ගැබිනි මවටත් කොරෝනා ආසාදනය වී තිබෙනවා කියලා රෝහල්ගත වුණාට පසුව තමයි දැනගත්තේ. ඊට පස්සේ තිබුණු තත්ත්වය මත ඒ මව දරු ප්‍රසූතිය සිදුකළා. එතකොට දරුවට සති 20යි. මියගිය දරුවෙක් තමයි ඒ මව ප්‍රසූත කළේ. ඒ දරුවා සම්බන්ධයෙන් කළ පරීක්ෂණයේදී අපිට අනාවරණය වුණා ඒ දරුවටත් කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව.”
මේ අතර කොවිඩ් ආසාදිතව මියගිය කාන්තාවගේ මෘතදේහයක් රාගම ශික්ෂණ රෝහලේදී මාරුවී ඇතැයි කියන සිද්ධියක් ‘අද දෙරණ’ ට වාර්තා විය.
ජාඇළ, සුදුවැල්ල ප්‍රදේශයේ නිවසක පසුගියදා 75 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබූ අතර රාගම ශික්ෂණ රෝහලේදී මෘතදේහයට සිදුකළ PCR පරීක්ෂණයේදී ඇය කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබුණි.
පසුව මියගිය කාන්තාවගේ ඥාතීන් විසින් ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම සඳහා ජාඇළ පොදු සුසාන භුමියට ගිය අවස්ථාවේ රාගම රෝහලෙන් ඔවුන්ට ඇමතුමක් ලබාදී තිබුණි.
මෘත දේහය මාරු වී ඇති බවත්, එය කඩිනමින් රෝහලට රැගෙන එන්නැයි එහිදී පවසා තිබේ.
ඒ අනුව ඥාතීන් විසින් එම දේහය යළි රෝහලට රැගෙන ගොස් තිබුණි.
කෙසේවෙතත් රෝහලේදී සිදුකළ පරීක්ෂාවේදී අනාවරණය වී තිබුණේ මෘතදේහය මාරුවීමක් සිදුවී නොමැති බවය.
ඒ අනුව මියගිය කාන්තාවගේ දේහය යළිත් ජාඇළ සුසාන භූමියට ගෙනගොස් ආදාහනය කිරීමට ඥාතීන්ට සිදුවී තිබුණි.