ශාරීරික නම්‍යශීලීතාවයට සහ සංතුලිතතාවට ලැබෙන ප්‍රතිලාභ මෙන්න අධ්‍යාත්මය හා පවතින බැඳීම හේතු කොට ගෙන ලොව පුරා මිලියන ගණනක් වූ ජනතාවක් යෝගා ව්‍යායාම සදහා නැඹුරුවෙමින් පවති. නමුත් අපහසු ඉරියව් ප්‍රගුණ කිරීම සඳහා උවමනාවට වඩා වෙහෙස දැරීම හේතුවෙන් තුනටියේ බරපතළ ආබාධ සහිත යෝගා ගුරුවර ගුරුවරියන් ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවක් තමන්ට දක්නට ලැබෙතැයි එක්සත් රාජධානියේ භෞතචිකිත්සක බිනෝයි මැතිව්ස් අනතුරු අඟවයි.
බිනෝයි මැතිව්ස් දණහිස සහ තුනටිය සම්බන්ධ විශේෂඥ භෞතචිකිත්සකවරයෙකි. දළ වශයෙන්, මසකට යෝගා ගුරුවර ගුරුවරියන් හතර දෙනෙකු හෝ පස් දෙනෙකු තුනටියේ ආබාධ ප්‍රතිකාර සඳහා පැමිණෙන බව ඔහු පැවසීය.
තම සිරුර කෙතරම් ප්‍රතික්ෂේප කරන නමුත් “නියමිත” ඉරියව් කරා යාමට නොකඩවා දරන උත්සාහය මීට හේතුව බව භෞතචිකිත්සක මැතිව්ස් පවසන අතර අස්ථි පද්ධතියේ සන්ධි වෙත අනවශ්‍ය පීඩනයක් ඇති නොවන අයුරින් “නියමිත” ඉරියව්වලට සීමා පනවා ගැනීමට වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව ඔහුගේ අදහසය. තමන් වෙත පැමිණෙන යෝගා ගුරුවරුන්ගෙන් අඩකට එවැනි උපදෙස් පමණක් ආබාධ සුව වීමට ප්‍රමාණවත් වූ බව හෙතෙම පැවසීය.
නමුත් වඩා බරපතළ වූ ආබාධ සඳහා ශල්‍යකර්ම සහ වෛද්‍ය ප්‍රතිකාර හා ඇතැම් විට අලුතෙන් ම උකුළු අස්ථි බද්ධ කිරීමට ද සිදු වී තිබේ.
යෝගා ගුරුවරුන් තම ඉරියව් පුහුණු කිරීමේදී යම් තදවීමක් හෝ හිරවීමක් දැනේ නම් එම සීමාවෙන් ඔබ්බට නොයා යුතු බව ඔහුගේ උපදෙස ය. “වේදනාව සහ දැඩි බවක් දැනීම අතර වෙනස සමහර උදවියට වටහා ගන්න බැහැ. ඉකිළිය ප්‍රදේශයේ හිරවීමක් හෝ තදවීමක් දැනෙනවානම් එය නොසළකා හරින්න හොඳ නැහැ. ඔබ ඔබේ සීමාවන් වටහා ගත යුතුයි.” භෞතචිකිත්සක මැතිව්ස් ප්‍රකාශ කළේය.
“යෝගා ව්‍යායාමවලින් කෙතරම් සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබෙනවද කියල අපි හැම දෙනාම දන්නවා. මමත් යෝගා ව්‍යායාම කරන කෙනෙක්. නමුත් අනෙක් හැම දෙයක්ම වගේ මේ දෙයිනුත් අනතුරු ඇතිවිය හැකියි. එය නොසළකා හැරීම හොඳ නැහැ.”
“යෝගා ප්‍රතික්‍ෂේප කරන්න මට අවශ්‍යතාවක් නැහැ. ඒක වසර දහස් ගණනක ඉතිහාසයක් තිබෙන දෙයක්. ඒත් ඔබ තමන් ගැන තේරුම් ගත යුතුයි.”
යම් කෙනෙකුගේ ඉඟටිය සැකසී ඇති ආකාරය සහ එය කෙතරම් නම්‍යශීලී ද යන කාරනා මත මෙය රඳා පවතින බව ඔහු පැවසීය.
භෞතචිකිත්සක මැතිව්ස් තවදුරටත් කියා සිටියේ යෝගා ගුරුවර ගුරුවරියන් වෙනත් ව්‍යායාම කෙරෙහි යොමු නොවීම හේතුවෙන් ද මෙවැනි ආබාධ වර්ධනය විය හැකි බවය.
“ඒ අය සතියකට දින හයක් විතර යෝගා කරන නිසා හිතනවා ඇති ඒ හොඳටම ඇති කියල.”
“අනිත් හැම දේම වගේ, එකම දේ දිගින් දිගටම කිරීමෙන් ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. කරන ව්‍යායාම මිශ්‍ර විය යුතුයි.”
වසර 22ක් භෞතචිකිත්සකවරයෙකු ලෙස කටයුතු කරන ඔහු පසුගිය අටවසර තුළ දණහිස සහ තුනටිය පිළිබඳව විශේෂඥයෙකු වශයෙන් කටයුතු කරයි.