ශානි ගැන වාර්ථාවක් අධිකරණයෙන් ඉල්ලයි

රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර මහතාට විශේෂ පොලිස් බළකා ආරක්ෂාව ලබාදීම පිළිබඳව ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන  ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය.

අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ තම ආරක්ෂාව වැඩි කරන ලෙස ඉල්ලා රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර මහතා ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.

තමන්ට ලබා දී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොමැති බව සඳහන් කරමින් තම ආරක්ෂාව වැඩි කිරීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර මහතා විසින් මෙම රිට් පෙත්සම ගොනු කරනු ලැබ ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පෙනී සිටියේය.

නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්  ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතා පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *