වෙළෙඳපොළෙන් පිළිකා කාරක පොල් තෙල් ඉවත්කර ගන්නැයි නියෝගයක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය “ඇෆ්ලටොක්සින්“ නැමැති පිළිකා කාරක අඩංගු බවට හඳුනාගත් දේශිය පොල් තෙල් සමාගමක නිෂ්පාදන වෙළෙඳපොළෙන් ඉවත් කර ගන්නා ලෙස අධිකාරිය අදාළ සමාගමට දැනුම් දී තිබේ.

සිදුකළ පරීක්ෂණවල දී එම පිළිකා කාරකය පොල් තෙල් සාම්පලවල අඩංගු බවට හඳුනාගැනීමත් සමඟ එම පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ “අද දෙරණ“ට සඳහන් කළේය.

“ඇෆ්ලටොක්සින්“ නැමැති පිළිකා කාරය වෙළෙඳපොළේ අලෙවි වන පොල් තෙල්වල අඩංගු වී ඇත් ද යන්න පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමට පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබුණි.

එහිදි විවිධ වෙළෙඳ නාමයටතේ පවතින පොල් තෙල් නිෂ්පාදනවල සාම්පල පරීක්ෂාවට ලක්කිරීමේ දි ඉන් එක් නිෂ්පාදනයක අදාළ පිළිකා කාරකය පවතින බවට තහවුරු වු බව පාරිභෝගික අධිකාරිය පැවසුවේය.

පසුව එම සමාගමට අයත් කර්මාන්ත ශාලාවලින් ද සාම්පල ලබා ගනිමින් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන ඇති අතර එහිදි “ඇෆ්ලටොක්සින්“ පිළිකා කාරකය එම පොල් තෙල් සාම්පලවල අඩංගු බවට තවදුරටත් තහවුරු වී තිබේ.

ඒ අනුව එම නිෂ්පාදන සමාගමේ පොල් තෙල් තොග වෙළෙඳ පොළෙන් ඉවත්කර ගන්නා ලෙස ලිඛිතව දැනුම් දී ඇති අතර එම සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *