මරණ දඬුවම නියමව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්පළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාටත්, ඔහුගේ බිරියට සහ ඥාති සොහොයුරියකට අයත් රුපියල් දහසය කෝටි විසිපන් ලක්ෂයක් (162, 500, 000) වටිනා මුදල් හා දේපළ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍යය පටබැඳි මහතා ඊයේ (15දා) රාජසන්තක කිරීමට නියෝග කළේය.
රන් භාණ්ඩ, මෝටර් රථ, සුඛෝපභෝගී නිවාස, බැංකු තැන්පතු එසේ රාජසන්තක කළ දේපළ අතර වේ.
ඊට අතිරේකව රුපියල් දහහත්කෝටි අනූ දෙලක්ෂ පනස් හත්දහස් හත්සිය විසිහතරයි ශත හතළිහක (179, 257, 724.40)ක දඩ මුදලක් හා බරපතළ වැඩ සහිත වසර 8ක සිරදඬුවමක් නියම විය. දඬමුදල නොගෙවන්නේ නම් ලිහිල් වැඩ ඇතිව තවත් වසර 48ක සිරදඬුවමක් නියම විය.
මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ පවරන ලද නඩුවක වැඩිම වටිනාකමක් ඇති දේපළ රාජසන්තක කරන ලද අවස්ථාව මෙය වේ. ‘වෙලේ සුදා’ නමැත්තාගේ ඥාතීන් කිහිප දෙනකුට සමාන චෝදනා යටතේ පවරන ලද නඩු කිහිපයක් අධිකරණය ඉදිරියේ විභාග වේ.
රාජසන්තක කරන ලද දේපළ අතර කළම්බු රෙසිඩන්ස් නිවාස සංකීර්ණයේ නිවාස 2ක්, රාජගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ නිවාස 2ක්, කොළඹ 07 බගතලේ පාරේ පිහිටි සිටඩ්‍රල් නිවාස සංකීර්ණයේ නිවාස 2ක් සහ කොළඹ නගරයේ පිහිටි තවත් නිවාස 2ක් වේ.
මෙම සියලුම නිවාස ‘වෙලේ සුදා’ නමැත්තාගේ බිරිය වන ‘සුසි’ යනුවෙන් හැඳින්වෙන පිලිදූව බෝගහවත්තගේ ගයනි ප්‍රියදර්ශනී නමැත්තියගේ නමට මිල දී ගෙන තිබුණු දේපළය. නඩුවේ පළමු විත්තිකාරිය වන ඇයට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 18ක් ඉදිරිපත් කර තිබුණු අතර එම සියලුම චෝදනාවන්ට මහාධිකරණය විත්තිකාරිය වරදකාරිය කළේය.
එම චෝදනා සඳහා බරපතළ වැඩ ඇතිව වෙන් වෙන්ව වසර 64ක සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිරදඬුවම වසර 8කින් එකවර ගෙවෙන පරිදි දඬුවම් නියම කළේය.
නඩුවේ සෙසු විත්තිකරුවන් වූ මරණ දඬුවම හිමිව සිටින ‘වෙලේ සුදා’ නමැත්තාට සහ ඔහුගේ ඥාතී සොහොයුරියක වන කාඹරේ ආරච්චිගේ වසන්ති වසුන්දරා නොහොත් ‘නදී’ යන චූදිතයන්ට චෝදනා 3ක් සඳහා බරපතළ වැඩ සහිත වසර 18ක සිරදඬුවමක් වසර 8කින් ගෙවෙන පරිදි දඬුවම් නියම කරන ලදි. ඒ අනුව සියලුම විත්තිකරුවන්ට බරපතළ වැඩ සහිත වසර 8ක සිරදඬුවමක් නියම විය.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “වෙලේ සුදා” හා ඔහුගේ පවුලේ උදවියට අයත් අයථා ක්‍රමවලින් උපයා ගන්නා ලද වත්කම් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් පුළුල් පරීක්ෂණයක් කිරීමෙන් පසු ඒ පිළිබඳ තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීම සිදු කෙරිණි.
ඉන්පසු නීතිපතිවරයා විසින් චෝදනා 57ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සිදු කර ඇත. ඒ අනුව වර්ෂ 2010 ජනවාරි පළමුවැනිදාත් 2012 අප්‍රේල් 25 වැනිදාත් අතර කාලය තුළ දී කොළඹ හා අවට ප්‍රදේශවල දී හෙරොයින් ජාවාරම් කිරීමෙන් මුදල් උපයාගැනීමට කුමන්ත්‍රණය කළ බවට සහ එලෙස හෙරොයින් ජාවාරම් කිරීමෙන් මුදල් හා දේපළ උපයාගත් බවට චෝදනා කර නඩු පැවරීම සිදුවිය.
අති සුඛෝපභෝගී නිවාසවලට අමතරව වටිනාකම කෝටි 2ක් ලෙස තක්සේරු කළ බී.එම්.ඩබ්ලිව්. සහ ලෑන්ඩ් රෝවර් රථ කිහිපයක්, රුපියල් කෝටි 2ක් වඩා වැඩි වටිනාකමින් යුක්ත කිලෝ 2.5කට ආසන්න බරැති රත්තරන් හා සුදු රත්තරන් ස්වර්ණාභරණ සහ ලක්ෂ 58ක් පමණ වටිනා ගෘහ භාණ්ඩ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ නඩු භාණ්ඩ ලෙස නම් කර තිබිණි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වන ලදි. තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසු නඩුව විභාග කළ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍යය පටබැඳි මහතා වසර 3කට අඩු කාලයක් තුළ විශාල වශයෙන් සාක්ෂි තහවුරු කිරීම් කළ යුතු නඩුවක් කාර්යක්ෂමව මෙහෙයවීම සම්බන්ධයෙන් පැමිණිල්ලේ නීතිඥවරයා ඇතුළු නීතිවේදීන්ට ස්තූතිය ප්‍රකාශ කළේය.
විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර පුනාන්දු පසමඟ නිපුන් සමරතුංග, අමිල පල්ලියගේ, සෙනරත් ජයසුන්දර, හරිගුප්ත රෝහණධීර යන නීතිඥ මහත්වරු පෙනී සිටියහ.