විදුලි බිල යළි වැඩි කිරීමට ඉල්ලයි

ලංකා විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පියවාගැනීම සඳහා නැවත වරක් විදුලි බිල ඉහළ දැමීමක් සිදුකළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

නමුත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් පවසන්නේ දැනට සිදුකර ඇති ගාස්තු සංශෝධනය ප්‍රමාණවත් බවය.

ලංකා විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පියවීම සඳහා නැවත වරක් විදුලි බිල ඉහළ දැමිය යුතු බවට සඳහන් කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ජී. ඒ. ඩී. ආර්. පී සෙනවිරත්න මහතා මහජන උපයෝගිතා කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

විදුලිය ගාස්තු සංශෝධනයේදී ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ, ගාස්තු අඩුකර මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කළ ගාස්තු නිසා විදුලිබල මණ්ඩලයේ මේ වසරේ ආදායම රුපියල් බිලියන 33කින් පමණ අඩුවී ඇතැයි සාමාන්‍යාධිකාරීවරයා සිය ලිපිය මගින් පෙන්වා දී ඇත.

එමෙන්ම පුනර්ජනනීය විදුලිය උත්පාදනය වෙනුවෙන් ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් බිලියන 29.7ක් පමණ වන බවද එහි සඳහන්ය.

ඒ අනුව, වසරේ විදුලිය ගාස්තු වැඩීකිරීමට යෝජනා කළ අවස්ථාවේ ගිගාවොට් 4,500ක ජල විදුලිය ලබාගැනීමට අපේක්ෂා කළ ද, රට තුළ ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිපදවා ගැනීමට හැකිවූයේ ගිගාවොට් 1,738ක් පමණක් බවද ලිපිය මගින් පෙන්වා දී තිබේ.

පසුගිය මස 21 වනදා යොමුකළ එම ලිපිය මගින් විදුලිබල මණ්ඩලයේ සමාන්‍යාධිකාරිවරයා ඉල්ලා සිටින්නේ තාප ජනනය මගින් විදුලිය නිෂ්පාදනය ඉහළ යාම, විදුලිය සඳහා ඉල්ලුම ඉහළයාම සහ මණ්ඩලයේ වියදම් පියවා ගැනීම බරපතළ ගැටලුවක් බවය.

ඒ අනුව, 2023 වසර සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 33කින් සිය ආදායම වැඩි කරගැනීමට විදුලි බිල සංශෝධනයක් කළ යුතු බවට මෙම ලිපිය මගින් දන්වා තිබේ.

මේ අතර විදුලි ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් සිදුකළ විමසීමකදී එම කොමිසන් සභාව පවසන්නේ දැනට සිදුකර ඇති විදුලි ගාස්තු සංශෝධනය ප්‍රමාණවත් බවට විදුලිබල මණ්ඩලයට පිළිතුරු ලිපියක්ද යොමු කළ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *