විජලනය

විජලනය වැළැක්වීම සඳහා වැඩිපුර ජලය පානය කරන්න

රිජ්වේ ආර්යා රෝහලේ (LRH) උපදේශක ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මහජනතාවට සහ දෙමාපියන්ට උපදෙස් දෙන්නේ පවතින උණුසුම් කාලගුණික තත්ත්වයන් තුළ දරුවන් විජලනය වීම සහ තාප කම්පනයෙන් පීඩා විඳීම වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ඛනිජ ලවණ සහිත දියර වැඩි වශයෙන් ලබා දෙන ලෙසයි.

මාධ්‍යවේදීන් අමතමින් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ තම දරුවන්ට වැඩි වශයෙන් ජලය ලබා දෙන ලෙසයි. කුඹුරු වගාව, මාර්ග ඉදිකිරීම්, පාසල් ළමුන් ක්‍රීඩා පිටිවල ක්‍රීඩා කරන විට හෝ පුහුණු සැසිවල නිරත වන විට අධික දහඩිය දැමීම සිදුවේ.

“ප්‍රමාණවත් තරල සහ ඛනිජ ලවණ ලබා ගැනීමට අපොහොසත් වීමෙන් තෙහෙට්ටුව, හිසරදය, නිදිබර ගතිය, වමනය, ශරීරයේ වේදනාව, නින්ද නොයාම, නිදිමත වැඩිවීම සහ ආහාර රුචිය නැති වීම වැනි බරපතල සෞඛ්‍ය සංකූලතා ඇති විය හැක”, වෛද්‍ය පෙරේරා පැවසීය.

දරුවන් බීමට ජලය නොමැතිව පාරේ සෙල්ලම් කළහොත් විජලනය හා රස්නය කම්පන තත්ත්වයන්ට ගොදුරු විය හැකි බවත් පාසල් යන විට දරුවන්ට වතුර බෝතල් දෙකක් ලබාදෙන ලෙස දෙමාපියන්ගෙන් වෛද්‍ය පෙරේරා ඉල්ලා සිටියේය.

“පොල් වතුර, දෙහි, දොඩම්, කැඳ වැනි ස්වභාවික දියර වර්ග අපි මේ දිනවල දරුවන්ට නිර්දේශ කරනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම උණුසුම් කාලගුණික තත්ත්වයන් තුළ දරුවන් වැඩි වේලාවක් ජලයේ නොසිටින්නේ නම් දහඩිය බිබිලි, දද වැනි චර්ම රෝග වැඩි වන්නට පුළුවන.

එමනිසා, අවම වශයෙන් දිනකට දෙවරක්වත් දරුවන් ස්නානය කිරීම නිර්දේශ කර අවම වශයෙන් විනාඩි 20 ක් වතුරේ පොඟවා ගැනීමට ඉඩ දෙන්න. එමගින් සමේ ඇති වන අපහසුතා අවම කර ගත හැකි බවද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *