ගත වූ පැය 24 තුළ වාර්තා වූ වර්ෂාපතන වාර්තා අනුව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රදේශයෙන් වැඩිම වර්ෂාපතනයක් වාර්තා වූ අතර එය මිලිමීටර් 101.5ක් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික උපද්‍රව පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ප්‍රදේශයෙන් දෙවන වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 100.5 කි. ගතවූ පැය 24 තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ විතානකන්ද වතුයායෙන් මිලිමීටර් 80.0ක වර්ෂාපතනයක් ද කෑගල්ල දිස්ත්‍රික්කයේ උඩුවිල ප්‍රදේශයෙන් මිලිමීටර් 73.5ක වර්ෂාපතනයක් ද වාර්තා විය.
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇත.
දිවයින පුරා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකියි.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දිනයේදීත් ගම්පහ, කෑගල්ල, කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර ඇතුළු දිස්ත්‍රික්ක හත සඳහා අධි අවදානම් මට්ටමේ (රතු) අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.
කළු ගඟේ කුඩාගඟ උප ද්‍රෝණියේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට අද දිනයේ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව වාර්තාවක් නිකුත් කර තිබේ.
මේ හේතුවෙන් කුඩා ගඟේ ගංවතුර තැනිතලා ප්‍රදේශය හරහා ගමන් කරන මාර්ග ජලයෙන් යටවීමේ වැඩි ඉඩකඩක් පවතින අතර එම ප්‍රදේශ හරහා ගමන් කරන ප්‍රදේශවාසීන් සහ රියදුරන් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටියි. කුඩා ගඟ ආශ්රිත ජල විද්‍යා ස්ථානවල වත්මන් වර්ෂාපතන තත්ත්වය සහ ගංගා ජල මට්ටම් විශ්ලේෂණය කිරීමෙන් පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩා ගඟ නිම්නයේ පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව අනතුරු අඟවයි. .
කුඩාගඟ ගංවතුර තැනිතලා ප්‍රදේශය හරහා දිවෙන මාර්ග ජලයෙන් යටවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස මෙම ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් සහ එම ප්‍රදේශ හරහා මොරකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර, නිල්වලා ගංගා ද්‍රෝණියේ උඩුගං සහ මැද ජල පෝෂක ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබේ. කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, පස්ගොඩ, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නිල්වලා ගඟ නිම්නයේ පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවයි.