වසර 7කට පෙර ආනයනය කරන ලද පාසල් බස් රථ 80ක් අවසන් ප්‍රයෝජනයට…

ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගම විසින් වසර 07කට පෙර ආනයනය කර භාවිතයට නොගත් පාසල් බස් රථ 80 ක් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඊයේ නිරීක්ෂණය කරන ලදී.

ප්‍රසම්පාදන තාක්ෂණික කමිටුවේ අනුමැතිය ප්‍රමාද වීම හේතුවෙන් ආනයනය කරන ලද බස් රථ පනාගොඩ පිහිටි සමාගමේ කර්මාන්ත ශාලාවේ රැඳී තිබේ.

ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී විසින් බස්රථ වත්මන් වෙළෙඳපොළ මිලට සහ ආනයනය කරන අවස්ථාවේ ක්‍රියාත්මක වූ විදේශ විනිමය අනුපාතිකය යටතේ ලබාදීමට එකඟ වී ඇතැයි වාර්තා වේ.

එම බස් රථ ප්‍රවාහනය සඳහා යොදා ගැනීමටත් වසර හතරක කාලයක් තුළ ගෙවීම් කිරීමටත් සමාගම එකඟ වී ඇත.

මෙම බස්රථ ජාතියට ප්‍රයෝජනවත් බව ප්‍රකාශ කළ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රසම්පාදන තාක්ෂණික කමිටුව විවිධ හේතූන් මත මිලදී ගැනීම සඳහා අනුමැතිය ලබාදීම ප්‍රමාද කිරීම කණගාටුවට කරුණක් බව පැවසීය.

පසුගිය වසර 07 තුළ බස් රථ මිලදී නොගැනීම ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට විශාල පාඩුවක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා බස් රථ යොදා ගැනීමට අවශ්‍ය කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ දැනට හෝමාගම පනාගොඩ ලංකා අශෝක් ලේලන්ඩ් කර්මාන්ත ශාලාවේ තැන්පත් කර ඇති බස් රථවල නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *