වරාය වෘත්තීය සමිති එකමුතුව ඉදිරිපත් කළ යෝජනාවලියට රජයේ එකඟත්වය

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉදිරිපත් කළ යෝජනාවලියට රජය එකඟත්වය පළකර ඇති බව වාර්තා වේ.

වෘත්තීය සමිති විසින් යෝජනා හයක් ඉදිරිපත් කර ඇති අතර නැගෙනහිර පර්යන්තය දැනට ඉදිකර ඇති කොටස පූර්ණ වශයෙන් වරාය අධිකාරිය යටතේ මෙහෙයුම් කටයුතු ආරම්භ කළ යුතු බව එහි දක්වා ඇත.

එමෙන්ම වරාය අධිකාරියේ සංචිතවල ඇති ඩොලර් මිලියන 250 ක මුදලින් ඩොලර් මිලියන 100 ක් ආයෝජනය කර පර්යන්ත කොටස වසර තුනක් ඇතුළත පූර්ණ වශයෙන් ඉදිකිරීමටත් එම යෝජනාවේ සඳහන් වේ. SAGT ආයතනය සමග ඇති ගිවිසුම 2029 වසරේදී අවසන් වීමෙන් පසු එම පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ මෙහෙයුම් කිරීමට ද යෝජනා කර ඇත. එහිදී නැගෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධනය සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය එකවර ලබා ගැනීමටද මෙමගින් යෝජනා කර තිබේ.

මෙම යෝජනා වලට එකග වන්නේ නම් මෙම තමන් වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉවත්වන බව එම යෝජනාවලියේ වැඩි දුරටත් සඳහන් කර තිබේ. වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති සංජය කුමාර වැලිගම, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ, ටක් යාත්‍රා ස්වාධීන සේවක සංගමයේ සභාපති එන්. පී. රූපසිංහ ඇතුළු වෘත්තීය සමිති 22 ක අත්සනින් යුතුව මෙම යෝජනාවලිය ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *