රු බිලියන 4ක් වැය කළ ක්‍රීඩා ව්‍යාපෘති ගැන හෙළිදරව්වක්

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 4කට වැඩි මුදලක් වියදම් කර ඇතත් ඒ කිසිඳු ව්‍යාපෘතියක් වෙනුවෙන් ශක්‍යතා අධ්‍යයනය සිදුකර නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී තොරතුරු අනාවරණය විය.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව නැවත කෝපා කමිටුව හමුවට කැඳවීම පසුගියදා සිදු කෙරුණි.

2023.09.06 දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට සූදානමකින් තොරව කෝපා කමිටුවට පැමිණීම හේතුවෙන් නැවතත් 2023.10.20 දින කැඳවීමට තීරණයවූ අතර ඒ අනුව මෙසේ නැවත කැඳවීම සිදුවිය.

ඒ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පසුගිය වසරවල විගණකාධිපති වාර්තා කෝපා කමිටුව හමුවේ විමර්ශනයට ලක්කළ අවස්ථාවේදීය.

ඒ අනුව මෙහිදී ක්‍රීඩා සංවර්ධන සැලැස්ම පිළිබඳ පැහැදිලි කරන ලෙස කමිටුව ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධයෙන් වන සැලසුම කමිටුවට ඉදිරිපත් කරන ලදි.

මෙහිදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වනපරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පාලනය වන ක්‍රීඩා සංකීර්ණයක් ආරම්භ කිරීමට කටයුතු කරගෙන යන බවද මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පැවසීය.

තවද ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් මුදල් යෙදවීම් සහ ඒ සම්බන්ධයෙන් වන කාර්යසාධනය පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

ඒ අනුව රුපියල් බිලියන 04ක් පමණ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් විවිධ ව්‍යාපෘති සඳහා වියදම් කර තිබුණද මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් කිසිදු ශක්‍යතා අධ්‍යයනයක් සිදුකොට නැති බවද මෙහිදී කමිටුව අනාවරණය කළේය.

ක්‍රීඩාව සම්බන්ධයෙන් දත්ත පවත්වාගෙන යෑමට සකස් කළ දත්ත සමීක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරුණි.

ඒ අනුව මෙම දත්ත පද්ධතිය 2016 වර්ෂයේදී ක්‍රීඩාව සම්බන්ධ දත්ත පවත්වාගෙන යාමේ අරමුණෙන් සකස් කළ බවත් වර්තමානයේද හොඳ ක්‍රියාකාරී මට්ටමක පවතින බවත් මෙහිදී පැමිණි නිලධාරීන් පැවසීය.

ඒ අනුව එහි මනා ක්‍රිකාරීත්වයට අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය කමිටුව පෙන්වා දුන්නේය.

එසේම ජාතික ක්‍රීඩා සභාව ක්‍රීඩාවේ දියුණුවට සකස් කර ඇති වැඩපිළිවෙල සහ ඉදිරි වසරවලදී පදක්කම් ලබාගැනීමට අපේක්ෂිත ක්‍රීඩා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.

ඒ අනුව ජාතික ක්‍රීඩා සභාව ක්‍රීඩාවේ දියුණුවට සකස් කර ඇති වැඩපිළිවෙල කමිටුවට ඉදිරිපත් කිරීම සහ ඉදිරි වසරවලදී පදක්කම් ලබාගැනීමට අපේක්ෂිත ක්‍රීඩා සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කරන ලදි.

තවද ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති අර්ජුන රණතුංග මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ සුසන්තිකා ජයසිංහ මහත්මිය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සකස්කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු කරමින් පවතින බවය.

මේ අනුව එවැනි දක්ෂතා සහිත ක්‍රීඩකයන් දෙදෙනෙක් හෝ 5දෙනෙක් සකස් කිරීම වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *