විශේෂ රාජ්‍ය සමාව යටතේ ජනාධිපතිවරයා විසින් බන්ධනාගාරගත රැඳවියන් 933ක් නිදහස් කර තිබේ.
අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පසුගිය 12 වනදාට යෙදී තිබූ 25 වන ජාතික සිරකරු දිනය වෙනුවෙන් මෙලෙස සිරකරුවන් නිදහස් කර ඇති බවය.
මෙලෙස නිදහස හිමිව ඇති රැඳවියන් අතර පිරිමි රැඳවියන් 926ක් සහ කාන්තා රැඳවියන් 07ක් සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.
මෙලෙස රැඳවියන් නිදහස් කර ඇති නියමයන් හා කොන්දේසි පහතින්
2023.09.12 දින වනවිට බන්ධනාගාර ගතව සිරදඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද (ගතකරන ලද) වසරකට හෝ ඉන් කොටසකට මාස 01 සමාවක් ලබාදීම.
දඩ මුදල් නොගෙවීම නිසා 2023.09.12 දින වනවිට බන්ධනාගාරගතව සිරදඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම.
2023.09.12 වන දින වන විට නියම කර ඇති සිර දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති,වයස අවුරුදු 65 ඉක්මවා ඇති සිරකරුවන්ගෙ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම.
2023.09.12 වන දින විට වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවමක් නියමකර, එම දඩුවමෙන් වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති (මහාධිකරණයෙන් දඬුවම් නියමකළ දිනයේ සිට) සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම.
2023.09.12 දින වනවිට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මගින් වරදකරුවන් කර ඒ සඳහා (දඩ මුදල් නොගෙවීම මත නියමකර ඇති සිර දඬුවම්ද ඇතුලත්ව) පුනරුත්ථාපනයට යොමු කර ඇති සිරකරුවන්ගේ නියමකර ඇති පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති රැඳවියන්ගේ එම පුනරුත්ථාපන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරණ පනත පරිදි ප්‍රජා විශෝධන නිළධාරියෙකුගේ අධීක්ෂණය යටතේ ගතකිරීමට යටත්ව නිදහස් කිරීම.