දැනට භාවිතයට ගන්නා ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ස්පුට්නික් V, ෆයිසර් හා මොඩර්නා යන එන්නත්වල පළමු හා දෙවන මාත්‍රා ඊයේ පුද්ගලයින් 511,142 දෙනෙකුට ලබාදී තිබේ.
ඒ අනුව පසුගිය දින දෙක තුළදී පුද්ගලයින් මිලියනයකට අධික පිරිසකට කොවිඩ් එන්නත් ලබාදී තිබුණි.
කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අදත් දිස්ත්‍රික්ක රැසකදී ක්‍රියාත්මක විය.
යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් නිවෙස්වලටම ගොස් වයස අවුරුදු 60ට වැඩි සහ බරපතළ රෝගාබාධ සහිතව එක්තැන්ව සිටින පුද්ගලයින්ට එන්නත් ලබාදීමද සිදුකළේය.
මේ මාතර , ඌරුබොක්ක ජාතික පාසලේ අද ස්ථාපිත කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානය අසල දිගු පෝලිම් දක්නට ලැබුණි.
රත්නපුර මහනගර සභා සීමාවේ පදිංචිව සිටින විශ්වවිද්‍යාල සඳහා තේරීපත්වූ සිසු සිසුවියන්ට දෙවන එන්නත් මාත්‍රාව ලබාගැනීම සඳහා අද දිනයේ පැමිණෙන්නැයි රත්නපුර මහනගර සභාවේ නගරාධිපතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත්කර තිබුණි.
දෙවන මාත්‍රාව ලබාගැනීම සඳහා රත්නපුර සුමනබාලිකා විද්‍යාලයට පැමිණි සිසුන්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රමාණවත් තරම් එන්නත් ලැබී නොමැති නිසා අද (01) එන්නත් ලබාදීමට නොහැකි බවය.
ඒ සමග එහි නොසන්සුන් තත්වයක් හටගත්තේය.
පසුව එහි පැමිණි රත්නපුර මහනගර සභාවේ නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර සිසුදරුවන්ට දෙවන මාත්‍රාව ලබාදීමට පියවර ගැනුණි.
මේ අතර වැලිගම නගරයේ අර්ෆා මහා විද්‍යාලයේදි කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයට අද විශාල පිරිසක් එන්නත් ලබාගැනීම සඳහා පැමිණ සිටිනු ලක්නට ලැබුණි.
නමුත් සියලු දෙනාටම එන්නත් ලබාදිය නොහැකි බවට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කිරීමත් සමග එහි ඇතිවූයේ නොසන්සුන් තත්ත්වයකි.
වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මේවනවිට මෙරට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් ගණන එක් කෝටි විසි හතර ලක්ෂ හැටඅට දහස් නවසිය හතලිස් නවයකි.
මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාවද ලක්ෂ 81 ඉක්මවා තිබේ.
වීරකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අද රුබෙල්ලා එන්නත ලබාදුන් අතර එය ලබාගැනීමට පැමිණි ජනතාව සමාජ දුරස්ථභාවය සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ආකාරයක් දක්නට නොලැබුණි.
මේ අතර වෙළෙඳපොළේ පවතින බාල තත්ත්වයේ ඔක්සිමීටර අලෙවිකිරීමෙන් වැළකී සිටීමට තම සංගමය තීරණය කළ බව ශ්‍රී ලංකා ඖෂධ වෙළඳ සංගමය පවසයි.