රට ගොඩ ගත් නායකයා ගැන ආයේ ටෙස්ට් කරන්න දෙයක් නැහැ – මනූෂ

එක්සත් ජාතික පක්ෂය වටා ජනතාව ඒකරාශී වීමේ පෙරනිමිති කුලියාපිටියෙන් ආරම්භ වී ඇති බවත් රට බාර දිය යුතු අනාගත නායකයා කවුදැයි පරීක්ෂා කිරීමට අවශ්‍ය නොවන තරමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ආශ්චර්යය පෙන්වා ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ජනපති පදවි ප්‍රාප්තියෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ පළමු එක්සත් ජාතික පක්ෂ ජන රැළියට කුලියාපිටියේදී සහභාගි වෙමින් පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පෙළ සාමාජිකයින් වන අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු පක්ෂයේ සාමාජිකත්වය දරන මැති ඇමතිවරු, පක්ෂ සාමාජිකත්වය, මහජනතාව විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එහිදී ජන රැළිය අමතමින් මෙසේ ප්‍රකාශ කළේය.

“එක්සත් ජාතික පක්ෂයේ හයිය පෙන්නන්න, පුළුවන් නම් පාරට බහින්න කියලා අපිට කිව්වා. අද අද අකිල විරාජ් කාරියවසම් ඇමතිතුමා සමග අපි පාරට බහැලා කුලියාපිටියට ඇවිල්ලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ හයිය පෙන්නන්න තමයි. මේ ආරම්භය විතරයි, මේ පටන්ගත්තා විතරයි. රට අමාරුවෙ වැටිච්ච වෙලාවේ ඤං පචං ගාලා, කකුල් වෙව්ලන්නේ නැතිව, ආණ්ඩු ගන්න බැරුව, ගෙවල් අස්සේ රිංගගෙන ඉන්නේ නැතිව, උඩ තට්ටුවලට වෙලා, පල්ලෙහාට බහින්නෙ නැතුව කරන්න තියෙන වෙනස කරලා, තමන්ගේ ගේ ගිනි තියද්දි, රට බාරගෙන අද රට මෙතන්ට ගෙනත් හුස්මගන්න පුළුවන් වෙන තැනට රට ගෙනාව විතරක් නෙවෙයි, බංකොලොත් වෙච්ච රට බංකොලොත් නොවන රටක් බවට කියන්න පුළුවන් තැනට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා.

එක්සත් ජාතික පක්ෂය වටා එක්සත් ජාතික මිනිසුන් විදිහට සියලු මිනිසුන් එකට ඒකරාශී වීමේ පෙරනිමිති තමයි මේ අද කුලියාපිටිය, කුරුණෑගලින් සනිටුහන් කරන්නේ. අපිට ගමට යන්න බෑ කියනකොට අපි අද ගමක් ගමක් පාසා යනවා. අද අපි නගරයක් නගරයක් පාසා යනවා. එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට යනවා. අද මේ හයිය කුරුණෑගලින් අපි පටන්ගන්නේ. එදා බලය බාරගන්නකොට බාර ගන්න බෑ කියලා කකුල් වෙව්ලපු අය, බාරගන්න බෑ කියපු අය, ඒකත් කෙරෙනව නම් මේකත් නොකෙරෙනව නම් ‘නොකෙරෙන දීගෙට කෝඳුරු තෙල් හත් පට්ටුවයි තව එකකුයි ඉල්ලපු’ කයිවාරුකාරයෝ, කයියනායකලා අද කියනවා අපි රට හදන්නම් කියලා. දෙන්න, අපි රට ගොඩ ගන්නම් කියලා. මේක හරියට අන්දරේට ගල් උස්සන්න කිව්වම හීනටි හාලේ බතුයි කළුකොන් මසුයි කාලා ගල උස්සලා මගේ කරින් තියන්න කිව්වා වගේ. එහෙම ප්‍රායෝගික නැති, අද මාලිමාව කියලා වෙන නම් දාගෙන ආව, 88-89 කාලේ අපේ තාත්තලා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මිනිසුන් ඝාතනය කරපු ඒ කණ්ඩායම තමයි මේ නම් වෙනස් කරගෙන ඇවිත් තියෙන්නේ. ඒ සමාජයට රටට මුහුණ දෙන්න බැරි නිසා. ඔය කණ්ඩායම තමයි 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියත් එක්ක එකතු වෙලා පරිවාස ආණ්ඩුව හැදුවේ. ඔය කණ්ඩායම මහින්ද රාජපක්ෂ මැතිතුමාට පෝස්ටර් ගැහුවේ. ඔය කණ්ඩායම තමයි මෛත්‍රීපාල සිරිසේන මැතුතිමා ජනාධිපතිතුමා පිටිපස්සේ ඉඳලා වංචා දූෂණ කොමිසම් හදාගෙන ආපු කණ්ඩායම. මේ එකම කණ්ඩායම තමයි එක එක වෙලාවට එක එක වෙස්මූණු දාගෙන ඇවිත් අද මාලිමාව කියලා එන්නේ. දැන් මේ අය රට පුරා රැස්වීම් කරනවා දැවැන්ත මුදලක් වියදම් කරලා. කාන්තාවො ගෙනල්ලා, බස් දාලා, රට වටෙන්ම සෙනග ගෙනල්ලා හොයාගත්තේ කාන්තාවො සියයයි, පියවුරු දෙසීයයි කියන එක. ඕක තමයි ලොකුම කතාව.

කාන්තාවො ගෙනත් තියලා, සෙල්ෆී ගැහුවා, ෆොටෝ ගැහුවාට ඔවුන්ගේ ප්‍රශ්න විසඳුවද? අපේ, ඔබේ, මේ රටේ ජනාධිපති රනිල් වික්‍රම මැතිතුමා කාන්තාව සවිබල ගැන්වීමේ ගැසට් එක නිකුත් කළා. ලිංගික සමානාත්මතාව පිළිබඳ ගැසට් නිකුත් කළා. කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය වළකන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. බත ඉදෙනකොට දුක දැනිච්ච අම්මලාට අප්‍රේල් මාසෙදි හාල් කිලෝ විස්සක් දෙන්න තීරණය කළා. රුපියල් මිලියන 2.4ක් ගමට දෙන්න තීරණය කළා. එක මිටට කියලා ඇවිත්, නළුවා වගේ ඇවිදලා සෙල්ෆි ගැහුවා කියලා කාන්තාවන්ගේ ප්‍රශ්නවලට උත්තර දුන්නේ නෑ. සෙල්ෆි ගැහුවා විතරයි. ඒවට සහන දුන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *