Monday, 23 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

යාපනය සරසවි සිසු ගැටුම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්: සිසුන් 21 ක් රිමාන්ඩ්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය විසින් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බව විශ්වවිද්‍යාල බලධාරීහු පවසති.

පොලීසිය විසින් සිදු කරනු ලබන විමර්ශනයට අමතරව විශ්වවිද්‍යාල පරිපාලනය විසින් ද ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිරුනාවුකරසු වේල්නම්පි (Thirunavukarasu Velnampe) මහතා ප්‍රකාශ කළේය.

නොවැම්බර් 19 වැනිදා රාත්‍රියේදී විශ්වවිද්‍යාල සිසුන් නවාතැන් ගෙන සිටි පෞද්ගලික නේවාසිකාගාරයකදී කළමනාකරණ පීඨයේ දෙවන වසරේ සහ තෙවන වසරේ සිසුන් අතර මෙම ගැටුම හටගෙන ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කෝපායි පොලීසිය ගැටුමට සම්බන්ධ බවට සැකපිට සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සිද්ධියට අදාළව තවදුරටත් අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

මේ අතර, ගැටුම විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටත සිදුවුවද, පොලිස් විමර්ශනය සඳහා විශ්වවිද්‍යාල පරිපාලනය සිය පූර්ණ සහයෝගය ලබාදෙන බව උපකුලපතිවරයා පැවසීය. ගැටුමට තුඩු දුන් හේතු සොයා බලා අනාගතයේදී මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ අදහස