මල්වතුහිරිපිටිය හිමිට වෙඩි තැබූ වෙඩික්කරු වෙඩි වැදී මරුට

ගම්පහ මල්වතුහිරිපිටිය කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ සිටි 45 හැවිරිදි හිමි නමක වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරකට ලක්ව මියගොස් ඇතැයි අත්තනගල්ල පොලිසිය කියයි.

අත්තනගල්ල පොලිස් වසමේ ඌරාපොළ, රුවන්වැල්ල පාර, ලිහිණියාගොල්ල ඇළ අසලදී පොලිස් වෙඩි පහරින් මෙසේ මියගොස් ඇත්තේ පෙරදොරපේ කල්හාර දිල්ෂාන් නැමති අංක 32, කුඩාපොකුණ, කාෂ්‍යපපුර, අරලගංවිල පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි.

මෙම සැකකරු ඉකුත් .10 දින හම්බේගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාශය වෙත භාරදී තිබිණි .

අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විශේෂ පරීක්ෂණයක් සඳහා සැකකරු ඌරාපොල ලිහිණියගොල්ල ඇළ ප්‍රදේශය වෙත වෙත රැගෙන ආ අවස්ථාවේ පොලිස් නිලධාරීන් හට පහරදී පළායාමට උත්සාහ දරා ඇතැයි ද සැකකරු පලායාමට ගත් උත්සාහය ව්‍යාර්ථ කිරීම සඳහා සිදු කළ වෙඩි තැබීමෙන් සැකකරු මරණයට පත්වී ඇතැයි ද මූලික පොලිස් විමර්ශන වලදී හෙළි වී ඇත.

අත්අඩංගුවෙන් පලායාමට උත්සාහ ගත් සැකකරුගේ පහරකෑමට ලක්වූ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරියක ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *