“මගේ මරණයට හේතුව” යනුවෙන් බිත්තියක ඉෂාලිනී ලියූ සටහනක් හමු වේ

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය 16 හැවිරිදි දැරිය රැඳීසිටි කාමරයේ බිත්තියක තිබූ විශේෂ සටහනක් වෙත පොලිසියේ අවධානය යොමු වී තිබේ.

මෙම දැරිය මන්ත්‍රීවරයාගේ නිවසේ සිටියදී රැඳීසිටි අදාළ කාමරය පරීක්ෂා කිරීමේදී එහි බිත්තියක ඉංග්‍රීසි අක්ෂරයෙන් දෙමළ අර්ථයක් ලබාදෙන ආකාරයට සටහනක් තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

එහි සිංහල අර්ථය “මගේ මරණයට හේතුව” යන්න බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා එම වැකිය සහිත බිත්තියේ ඡායාරූපයක් ලබාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

ඊට අමතරව ඊයේ දිනයේ එම ස්ථානය රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අකුරු පිළිබඳ විශේෂඥයින් විසින් පරීක්ෂා කර තිබේ.

මෙම දැරිය පාසල් ගිය සමයේදී භාවිත කළ පොත් කිහිපයක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර බිත්තියේ තිබූ අදාළ වැකිය ඇය විසින්ම සටහන් කරන ලද්දක් දැයි පරීක්ෂා කිරීම ඒ අනුව සිදුවේ.

ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් විසින් ඉෂාලිනිගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව ලබාදීමට නියමිත බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *